e-class: 7 ශ්‍රේණිය - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය 1

ආදරණීය දූලා පුතාලට පාසල් නිවාඩු කාලයේ දී ඉතාමත් ආසාවෙන් අධ්‍යනය කිරීමට හැකිවන පරිදි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විශයට අදාල පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්නටයි මේ සූදානම. මුලින්ම මධ්‍ය සැකසුම් ඒකකය පිළිබඳව අවබෝධයක් ලබාගනිමු. බලන්න මෙම දැනුම ඔබට කෙතරම් වැදගත් වේවි ද කියලා.
දූලා පුතාලා දැකලා තියෙනවද මධ්‍ය සැකසුම් ඒකකයක්. මොකක්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ. ඒක කොහෙද තියෙන්නේ. පරිගණකයක් හෝටලයක මුලුතැන්ගෙයක් වගේ. එතකොට පරිගණකයේ ඇති මධ්‍ය සැකසුම් ඒකකය එම මුළුතැන්ගෙයි ඉන්න ආහාර පිසින කෝකියා වගේ. කෝකියා හෝටලයේ ආහාර සකසනවා වගේ මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකය තුල ඇති දත්ත සකස් කොට තොරතුරු බවට පත් කරයි. කෝකියාගේ වැඩ කිරීමේ වේගය මත ආහාර සැකසීමේ වේගය තීරණය වෙනවා වගේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මත පරිගණකයේ වේගය තීරණය කරයි. මුළුතැන්ගෙයි කෝකියන් දෙදෙනෙකු වැඩ කරන විට ආහාර වර්ග දෙකක් එකවිට සූදානම් කරන්න පුළුවන් වගේම ද්විත්ව කාර්යය සකසනය මගින් එක විට කාර්යයන් දෙකක් ඉටුකරගැනීමට පරිගණකයකට හැකියාවක් තිබේ. මධ්‍ය සැකසුම් ඒකකයක් එහෙමත් නැත්නම් CPU එකක් යනු ලබාදෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදුකරන අංකිත පරිපථයකි. පරිගනකය මගින් ඉටුකරන කාර්යය කුමක් වුවද ඒ ඕනෑම අවස්ථාවකදී මධ්‍ය සැකසුම් ඒකකය පසුබිමින් ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රධාන කාර්යභාරය වන්නේ පරිගණක වැඩසටහනක ගබඩා කොට ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමයි. එනම් දත්ත ලබාගෙන ඒවා ලබා දී ඇති උපදෙස් වලට අනුව සැකසීමයි. මධ්‍ය සැකසුම් ඒකකය බාහිරින් නිරීක්ෂණය කළ නොහැකි අතර එය පද්ධති ඒකකය තුළ ඇති මව්පුවරුව මත ස්ථානගත කර ඇත.
මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වන බව දූලා පුතාලා දන්නවාද. එනම් ගණිතමය සහ තාර්කික ඒකකය හෙවත් arithmetic and logical unit, පාලන ඒකකය හෙවත් control unit සහ මතක රෙජිස්තර හෙවත් memory registers එම කොටස් තුනයි. ගණිතමය සහ තාර්කික ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ ගණිතමය සහ තාර්කික ඒකකය මගිනි. මෙම ඒකකයේ කාර්යයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි. එනම් ගණිතමය කාර්යයන් සහ තාර්කික කාර්යයන් යනුවෙනි. පාලන ඒකකය මගින් පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඩාංග අතර සන්නිවේදනය මෙහෙයවීම සහ පාලනය කිරීම සිදු කරයි. ආදාන සහ ප්‍රතිදාන දත්ත පාලනය දත්ත සුදුසු ස්ථානයට නිවැරැදි වේලාවට යැවීම තහවුරු කිරීම සහ අදාළ සංඥා සාර්ථකව ලැබෙන්නේ දැයි විමසිලිමත් වීම යන කාර්යයන් ද සිදු කරයි. මතක රෙජිස්තර යනු මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස් තාවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානයයි. මේවායේ ගබඩා කර ගැනීමේ ධාරිතාව දෘඩතැටිය වැනි අනෙකුත් පරිගණක මතක සමඟ සංසන්දනය කරන විට කුඩා අගයක් ගනී. නමුත් එහි වේගවත් බව වැඩියි. ස්පන්දක වේගය හෙවත් clock speed ලෙස හැඳින්වෙන මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය යනු තත්පරයක් තුළදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණයයි. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මැනීම සදහා හර්ට්ස් යන ඒකකය භාවිතා කරයි. නවීන පරිගණකවල වේගය ගැනීම සඳහා මෙගා හර්ට්ස් ගිගා හර්ට්ස් යන ඒකක භාවිතා කරනු ලැබේ.
මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය හඳුනාගැනීමද දූලා පුතාලට ඉතාමත් වැදගත්. පරිගනක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකයේ නිපදවීම සඳහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එය පරම්පරා හතරකට වර්ග කළ හැකියි. පළමු පරම්පරාව තුළ රික්තක නල, දෙවෙනි පරම්පරාව තුළ transistor, තුන්වන පරම්පරාව තුළ අනුකලිත පරිපථ සහ සිව්වන පරම්පරාවේ දී ක්ෂුද්‍ර පරිපථ වශයෙන් පරිණාමය වී ඇත. පරම්පරාවෙන් පරම්පරාවට පැමිණීමේදී පරිගණකයේ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩුවී ඇති අතර වැය කිරීමට සිදු වූ පිරිවැය ද අඩුවී ඇත. එමෙන්ම විදුලි පරිභෝජනය ද කෙමෙන් කෙමෙන් අඩුවී ඇත.
තවත් රසවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඩමක් සමඟින් නැවතත් හමුවෙමු.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
5749 Views
Comments