කොන්දේසි 11 කට යටත්ව සරසවි යළි විවෘත කෙරෙයි

සියලූම විශ්වවිද්‍යාලවල දෙවන හා තෙවන වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ දිනය තීරණය කිරීම උපකුලපතිවරුන් වෙත පවරා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
අද (06) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ඒ අනුව කොන්දේසි 11කට යටත්ව විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ වෙනු ඇත.
එක් පීඨයකට එක්වරකට විශ්වවිද්‍යාලයට කැඳවිය හැක්කේ වසර දෙකක සිසුන් පමණි. අවසන් වසර හා තෙවන වසර නම් ඒ සඳහා යෝග්‍ය බවද මහාචාර්යවරයා මෙහිදී කියා සිටියේය.
නේවාසිකාගාරවල සිටින ළමුන්ට එක් සිසුවෙක්ට එක් කාමරය බැගින් ලබා දීම අනිවාර්ය වේ.
විශ්වවිද්‍යාල නැවත ආරම්භයේ දී දේශන හා ප්‍රායෝගික පන්ති අවසන් කර ඍජුවම විභාග සඳහා වෙන්කර ඇති සිසුන්ට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය.
විභාග පැවැත් වීමට පෙර පවත්වන ඕනෑම අධ්‍යයන කටයුත්තක් කාලය අඩු කරමින් උපරිමය සති හතරකට වඩා වැඩි නොවිය යුතුය.
අවසන් වසරේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ආරම්භ කර හැකි අතර, ඒ සඳහා අදාළ පීඨවලින් උපදෙස් ලබා දිය හැකිය.
දන්ත වෛද්‍ය හා ආයුර්වේද අවසන් වසරේ සිසුන්ගේ සායනික පුහුණුව ද ආරම්භ කළ හැකිය.
අධ්‍යයන හා විභාග කටයුතු අවසන් වු වහාම සිසුන් විශ්වවිද්‍යාලවලින් තම පෞද්ගලික නිවාස වෙත පිටවිය යුතුයි.
විශ්වවිද්‍යාල භූමිය තුළ රාත්‍රී 7න් පසුව කුමන හේතුවක් මත හෝ විවෘතව නොතැබෙන බවද මහාචාර්යවරයා පැවසීය.
ක්‍රීඩා, සමාජ වැඩ හෝ කුමන හෝ ඒකරාශී වීමක් සඳහා මේ අනුව විශ්වවිද්‍යාල සිසුන්ට අවසර නොලැබෙනු ඇත.
සියලූම උපකුලපතිවරුන්ට තමන්ගේ නේවාසිකාගාරවල ඇති පහසුකම් පිළිබඳව මනා සැලකිල්ලක් යොදවා වරකට විශ්වවිද්‍යාලයට ගෙන්විය යුතු සිසුන් සංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනයකින් පසුව අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස ද දැනුම් දෙයි.
උසස් අධ්‍යාපන ආයතන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය ආරක්ෂණ විදිවිදාන ඇතුළත් චක්‍රලේඛය තවදුරටත් වලංගු වේ.
විශ්වවිද්‍යාලය සුමටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කිරීමට උපකුලපතිවරුන්ට බලය පවරා තිබේ.
ඒ අනුව මෙම කොන්දේසි අනුව විශ්වවිද්‍යාල පද්ධතිය විවෘතව පවතී.
විශ්වවිද්‍යාල පළමු වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
716 Views
Comments