වරාය සේවකයෝ වර්ජනයකට සැරසෙති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම සඳහා ගෙන්වා ඇති ග්‍රැන්ටි දොඹකර තුන ඉදිරි පැය විසිහතර ඇතුළත සවිකිරීම් ආරම්භ නොකලහොත් ජුලි පළමුවැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරායේ වෘත්තිය සමිති කියයි.
වරාය අධිකාරිය එකී දොඹකර සවිකොට නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ නොකරන්නේ විදේශ බලපෑමක් මත බවත් වහා මෙහෙයුම් ආරම්භ කරන්නට කටයුතු නොකලහොත් පළමුවැනිදා සිට වර්ජනය කරන්නට සියලු වෘත්තිය සමිති එක්ව තීරණය කළ බවත් ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා පවසයි.
ඉකුත් විසි වැනිදා ගෙන්වන ලද එම දොඹකර මේ වනතෙක් සවි කර නොමැති අතර දොඹකර සවිකරන තෙක් දිනපතා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 90 බැගින් ගෙවීමට වරාය අධිකාරියට සිදුවී තිබේ.
දොඹකර සවිකිරීම සඳහා ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර තුන පර්යන්ත ගත කිරීම ප්‍රමාද කරමින් තිබෙන බව පෙන්වා දෙන එම සංගමය වහා මෙම ප්‍රශ්නය සඳහා මැදිහත්වීමක් සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බව කලුතරගේ මහතා කීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගැඹුරින් වැඩි විශාල නෞකා මෙහෙයවිය හැකි එකම පර්යන්තය පුද්ගලීකරණයට පිඹුරුපත් සකස් කෙරුණේ පසුගිය රජය සමයේ බවත් මේ සම්බන්ධව මුල සිට වෘත්තිය සමිති විරෝධය පළ කළ බවත් පැවසූ සේවක සංගම් සභාපතිවරයා මේ වෙනුවෙන් තවදුරටත් පමා විය නොහැකි යැයි ද කියා සිටියේය.
යම් විසදුමකට පැමිණීමට දින දෙකක් කල් දෙන ලෙස වරාය පාලනාධිකාරිය වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කර ඇති බැවින් කල් දී බැලූ බවත් ඉදිරි පැය විසිහතර පමණක් මේ වෙනුවෙන් බලා සිටින්නට තම සාමාජිකත්වය බලකර සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
වෘත්තිය සමිති යම් ධනාත්මක විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ ඔහු එසේ වුවත් කිසිදු විදේශ රටකට නැගෙනහිර පර්යන්තය පවරා දීමට වෘත්තිය සමිති ඉඩක් නොතබන බව ද සඳහන් කළේය.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන මෙන් ඉල්ලා වරායේ සේවකයෝ ඉකුත් වසර පහ තිස්සේ ම අරගල කරන බව ද ඔහු කියා සිටියේය.
638 Views
Comments