ඇප මුදල් වැඩි කළේ නැත්තං අපිට ඇපත් නෑ

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් අය කරන ඇප මුදල් වැඩි කිරීම අනිවාර්යෙන් සිදුවිය යුත්තක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
එසේ නොවුනහොත් දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.
මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ 70 ක් පමණ තිබෙන අතර එම පක්ෂවලින් සැළකිය යුතු ප්‍රමාණයක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වුවහොත් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් විශාල අමතර පිරිවැයක් දැරීමට මැතිවරණ කොමිසමට සිදුවේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ අත්දැකීම් අනුව මෙවැනි අවදානමක් ඇති බවයි මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.
තවමත් මහ මැතිවරණයකදී ඇප මුදල් අය කරන්නේ 1981 වසරේදී සම්මත කරගත් නීතිවලට අනුව බව සඳහන් කරන සභාපතිවරයා පවසන්නේ එවකට දේශපාලන පක්ෂ 10 කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් තිබූ බවයි.
එය එම කාලසීමාවට ගැලපෙන්නක් වන නමුත් එය වර්තමානයට කිසිසේත් නොගැලපෙන බවත්, අවම මට්ටමින් එක් අපේක්ෂකයෙකු සඳහා දේශපාන පක්ෂයකින් නම් රුපියල් 30,000 ක පමණ මුදලකුත් ස්වාධීන අපේක්ෂකයෙකුගෙන් නම් රුපියල් 50,000 ක පමණ මුදලකුත් අය කළ යුතු බව දේශප්‍රිය මහතා පවසයි.
ඇප මුදල් වැඩි කිරීම මැතිවරණ කොමිසමට සිදුකළ නොහැකි බවත්, එය සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් බවත් ඔහු වැඩිදුරටත් පවසයි. ඇප මුදල් වැඩි නොකළහොත් 'ඇපත් නැතිව යන්නේ' මැතිවරණ කොමිසමේ බවයි මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.
968 Views
Comments