උසස් පෙළ කඩඉම් ලකුණු අද නිකුත් කෙරේ

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
උසස් පෙළ විභාගය නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ පැවති අතර ඒ නිසා අවම ඉසඩ් ලකුණු ද විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම නිකුත් කෙරෙන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.
පෙර වසරට සාපේක්ෂව නව අධ්‍යයන වර්ෂය (2019-2020) සඳහා සිසුන් දසදහස් පන්සියයක් පමණ වැඩිපුර ඇතුළත් කර ගැනීමට නියමිත අතර ඒ අනුව ඇතුළත් කිරීමට නියමිත සිසුන් සංඛ්‍යාව 41,500ක් පමණ වෙයි. පෙර වසරේ දී ඇතුළත් කරන ලද්දේ සිසුන් 30,000ක් පමණයි.
මෙවර වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා ඉකුත් වසරට වඩා සිසුන් 270 දෙනෙක් අමතරව ඇතුළත් කෙරේ. ඒ අනුව සිසුන් 1890 දෙනෙක් සඳහා වෛද්‍ය විද්‍යා පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමි වෙයි. එමෙන්ම පෙර වසරට සාපේක්ෂව ඉංජිනේරු විද්‍යා පාඨමාලා සඳහා අමතර සිසුන් හාරසිය දෙනෙක් ඇතුළත් කෙරෙන අතර ඒ අනුව මෙවර ඇතුළත් කෙරෙන සංඛ්‍යාව 2483 ක් වෙයි.
විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා සිසුන් ඇතුළත් කිරීමේ දී අනුගමනය කරන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාව ගැටලුවකට මුහුණ දුන් අතර විෂය නිර්දේශ දෙකේම සිසුන් දෙපිරිසක් අධිකරණය ඉදිරියට ද ගොස් තිබිණි. මෙම තත්ත්වය මත ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉසඩ් ලකුණු නිකුත් කිරීමට තීරණය කළේ මෙම ශිෂ්‍ය දෙපිරිස නියෝජනය කරන නීතිඥවරුන්, දෙමව්පියන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සමග ද සාකච්ඡා කිරීමෙන් පසුවය.
ඉසඩ් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
703 Views
Comments