ඥානසාර හිමිගේ නඩුව පෙබරවාරි 17 යළි කැඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

ඥානසාර හිමිගේ නඩුව පෙබරවාරි 17 යළි කැඳවයි

ඥානසාර හිමිගේ නඩුව පෙබරවාරි  17 යළි කැඳවයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 17 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 


එම පැමිණිල්ල අද(08) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

 

එහිදී පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 


එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළව වග උත්තරකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීන්දු කිරීම සඳහා පෙත්සම සලකා බැලීම අවශ්‍ය බවයි.ඒ අනුව පෙබරවාරි මස 17 වනදා පෙත්සම සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.එදින අධිකරණයට සහයවීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී වරයාට නියම කළේය.

 


එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනාට අධිකරණය නියම කළේය.

 


මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට  නීතිපතිවරයා පෙනී නොසිටින බැවින් පුද්ගලික නීතිඥ සහාය ලබා ගන්නා ලෙස විනිසුරු මඩුල්ල ඔවුන්ට දැනූම දුන්නේය.

 


මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.පෙත්සම්කාරිය කියා සිටින්නේ ඉකුත්දා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින්  මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බවයි.

 


එම තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් , මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව චෝදනා කරමින්  මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

views

668 Views

Comments

arrow-up