ජනපති කොමිසමේ දී හෙළි වූ වැළකුණු ටාජ් ප්‍රහාරයේ සුලමුල

පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් ඉන් අවන්හලේදි බෝම්බයක් පුපුරුවාගත් මරාගෙන මැරෙන ප්‍රහාරකයා ඇතුළුව අප්‍රේල් 20 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයේ රැඳී සිටි අමුත්තන්ගේ නම් ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට හෝටලයේ ආරක්ෂක කළමනාකරු විසින් යවා තිබු බව ජනාධිපති කොමිසමේදි ඊයේ අනාවරණය විය.
ඒ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකාරවරයා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.
ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකරු සුජීව ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදි , එක් බෝම්බකරුවකු ප්‍රහාරයට පෙරදින පස්වරු 04.53 ට ගමන් මල්ලක්ද සහිතව ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළු වී ඇතැයි දක්නට ලැබුණු බවයි.
එහිදි බෝම්බකරු නැවතී සිට ඇත්තේ ටාජ් සමුද්‍රා හෝටලයේ අංක 365 වැනි කාමරයෙයි.
කෙසේ වෙතත් එදිනම පස්වරු 5.44 ට එම පුද්ගලයා හෝටලයෙන් පිටත්ව ගොස් ඇති බවත් නැවත එදින හෝටලයට නොපැමිණි බවත් සාක්ෂිකරු අනාවරණ කළේය.
සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් යන නමින් මෙම පුද්ගලයා ලියාපදිංචි කර ඇති අතර ඔහුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්ද ලියාපදිංචි පත්‍රය හා අමුණා ඇති බවයි.
දෛනිකව සිය හෝටලයට පැමිණෙන අමුත්තන්ගේ ලියාපදිංචි තොරතුරු ඇතුළත් නාමලේඛනයක් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමු කිරීම ටාජ් සමුද්‍රා හෝටලයේ ක්‍රියා පිළිවෙත බවද මෙහිදි ජනාධිපති කොමිසම හමුවේ විශේෂ අනාවරණයක් කරමින් සාක්ෂිකරු සඳහන් කළේය.
ඒ අනුව මෙම පුද්ගලයා හෝටලයට ඇතුළු වූ අප්‍රේල් 20 වන දිනට අදාළ අමුත්තන්ගේ නාමලේඛනයද පසුදින එනම් අප්‍රේල් 21 වන දින පෙරවරු 7.00 ත් 8.00ත් අතර කාලයේ තමන් විසින් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමුකළ බව සාක්ෂිකරු පැවසුවේය.
කෙසේ වෙතත් ජනාධිපති කොමිසම විසින් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වුයේ ජමීල් මොහොමඩ් නැමැත්තාගේ නම අදාළ නාමලේඛනයේ ඇතුලත්ව තිබුණද ඔහුගේ සහ තවත් අමුත්තන් කිහිප දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් අංක එම ලේඛනයට ඇතුළත් කිරීම හෝටලයේ නිලධාරින් විසින් අතපසු කර ඇති බවයි.
ජමීල් මොහොමඩ් නැමැති මෙම පුද්ගලයා ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වු පාස්කු ඉරුදින පෙරවරු 7.09ට පමණ යළි හෝටලයට ඇතුල් වී ඇති අතර පෙරවරු 08.32 ට පමණ මෙම තැනැත්තා පිටෙහි ගමන් මල්ලක් සහ ඇදගෙන යා හැකි ගමන් මල්ලක් සහිතව හෝටලයේ පෝට්ස් ඔෆ් කෝල් අවන්හල වෙත ගමන් කර තිබේ.
එහිදි බෝම්බකරු අවස්ථා කිහිපයකදි නොසන්සුන් ලෙස හැසිරෙමින් කිසියම් උත්සහයක නිරත වන අයුරු සීසීටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.
එහිදි කලබලකාරි ලෙස එහි අසුනක අසුන්ගන්නා බෝම්බකරු පිට රැඳි ගමන් මල්ල ඉදිරියට ගෙන යම් ක්‍රියාවක් කිරීමට උත්සහ දරන අතර දුරකථන ඇමතුමක් පැමිණියද ඔහු එයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
මෙම තැනැත්තා පිටරැඳි ගමන් මල්ල සමඟ ආපන ශාලාවෙන් පිටතට පැමිණෙන අතර එම අවස්ථාවේදි හෝටලයේ නිලධාරින් විසින් බෝම්බකරුට ගෙනවිත් දෙන ඇදගෙන යාමේ ගමන් මලු දෙකෙන් එක ගමන් මල්ලක් නිලධාරියෙකු ඔසවන ආකාරයෙන් එහි අභ්‍යන්තරය හිස් යැයි නිරීක්ෂණය වූ බවයි සාක්ෂිකරු පැවසුවේය.
මෙහිදි කොමිසම ප්‍රශ්න කළේ මෙම තැනැත්තා හෝටලයට පැමිණිමට පෙර දිනයකදී තවත් සැකකටයුතු පුද්ගලයෙකු හෝටලයට පැමිණ ඇත්දැයි යන්නයි.
අප්‍රේල් 17 වන දින ප.ව 1.45ට පමණ කිසියම් සැකකටයුතු පුද්ගලයෙක් හෝටලය වෙත පැමිණ කාමරයක් ලබාගත හැකි ආකාරය පිළිබඳව විමසීමක් කර ගොස් ඇති බව එහිදි සාක්ෂිකරු සඳහන් කළේය.
මෙහිදි ජනාධිපති කොමිසම විසින් කිංස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල වීමට පෙර දිනකදි පැමිණි පුද්ගලයාගේ සීසීටීවී කැමරා දර්ශන පෙන්වා සිටි අතර එහිදි සාක්ෂිකරු සඳහන් කලේ බොහෝ විට තම හෝටලයට පැමිණියේද එම පුද්ගලයා විය හැකි බවයි.
හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කරමින් ජනාධිපති කොමිසම විමසා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට ටාජ් සමුද්‍රා හෝටලයේ කිසියම් ප්‍රභූවරයෙකු නවාතැන් ගෙන සිටියේද යන්නයි.
එයට පිළිතුරු දුන් සාක්ෂිකරු රාජ්‍ය අනුග්‍රහය ලබන කිසියම් ප්‍රභූවරයෙකු පැමිණෙන්නේනම් තමන්ව පෙර දැනුවත් කිරීමක් සිදුවන අතර ප්‍රහාරය එල්ල වු දිනයේ තම හෝටලයේ එවැනි ප්‍රභූවරයෙකු රැදී නොසිටි බව කියා සිටියේය.
ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුනේ බෝම්බකරු ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටත්ව යෑමේදී ඔහු ගමන් ගත් ත්‍රී රෝද රථ තුනක රියදුරන්වයි.
එහිදි පළමු ත්‍රී රෝද රථ රියදුරු සඳහන් කළේ පකිස්තානය වැනි විදේශ රටක පුද්ගලයෙකු යැයි සැකකළ හැකි අයෙක් පෙරවරු 8.55ට පමණ ටාජ් සමුද්‍රා හෝටලය අසලින් තම ත්‍රී රෝද රථයට නැග දෙහිවලට ගෙනයන ලෙස පැවසුවද ඔහු වැල්ලවත්ත වෙළඳ සංකිර්ණය අසලින් බැස ගිය බවයි.
ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් දෙවන ත්‍රීරෝද රථ රියදුරු සඳහන් කළේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් තම ත්‍රී රෝද රථයට නැගුණු බෝම්බකරු දෙහිවල ජාතික සත්වෝද්‍යානය අසල ලැගුම් හලක් ඇත්ද යන්න තමාගෙන් විමසූ බවයි.
ඒ අනුව එම පුද්ගලයාගේ ඉල්ලීම පරිදි තමන් දන්නා පුද්ගලයෙකුට අයත් දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි ට්‍රොපිකල් ඉන් ලැගුම් හලට පෙ.ව 9.35ට පමණ ඔහුව රැගෙන ගිය බව එම ත්‍රී රෝද රථ රියදුරු පැවසුවේය.
අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් තෙවැනි ත්‍රීරෝද රථ රියදුරු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය එල්ල වු දින ප.ව 1.25ට පමණ තමන් දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් දෙවස්ථානයක් අසලින් ත්‍රී රෝද රථයට නැගි පුද්ගයෙකුව කෙටි දුරක් රැගෙන විත් ට්‍රොපිකල් ඉන් ලැගුම් හල අසලට රැගෙන ගිය බවයි.
පසුව බෝම්බකරු දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලට ඇතුල් වූ පසු පස්වරු 1.30ට පමණ බෝම්බය පුපුරා යන අයුරු සීසීටීවී කැමරා වල සටහන් වී තිබුණි.
740 Views
Comments