මෛත්‍රී අතින් හෙට පිපෙන පොහොට්ටුව (PHOTOS /VIDEO )
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

මෛත්‍රී අතින් හෙට පිපෙන පොහොට්ටුව (PHOTOS /VIDEO )

මෛත්‍රී අතින් හෙට පිපෙන පොහොට්ටුව (PHOTOS /VIDEO )

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට විවෘත කෙරෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ආණ්ඩු මාරු වෙමින් වත්මන් ආණ්ඩුවට නෙළුම් කුළුණ විවෘත කිරීමේ අවස්ථාව ලැබුණද දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති මෙරටට දායාද කළ පසුගිය රජය සහ හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාවද මේ මොහොතේ ජනතාව මතක් කරන්නේ නෙළුම් කුළුණ පොදුජන පෙරමුණේ සංකේතය වන නිසාම නොවෙයි.

 

2008 වසරේ දී පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථා වැඩබිමට අයත් භුමියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සංදේශ කුලුනක්‌ ඉදි කිරීමට තීන්දු කර තිබුණා. ඒ සඳහා පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර දහයක ඉඩමේ ඉංජිනේරුවන් පරීක්ෂණ කටයුතු කළා. ඔවුහු එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතු වී තිබූ නෙළුම් මලක්‌ දුටුවා. යෝජිත කුලුන නෙළුම් දණ්‌ඩක්‌ හා නෙළුම් මලක්‌ ලෙස නිර්මාණය කිරීමේ අදහස මතු වුණේ එහිදීයි බවයි පැවසෙන්නේ.

 

එයට සියල්ලන් ගේ අනුමැතිය හිමි වූ නිසා එතැන් සිට කුලුනේ සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්‌ඩක්‌ හා එහි ඉහළ කෙළවරේ වූ නෙළුම් මලක හැඩය ගනු ලැබණි. ඒ නෙළුම් කුළුනේ සැලසුමේ කතාවයි. එසේ වුවද භූමියට යම් අපලයක් ඇති විය. ඒ අනුව පෑලියගොඩින් එය කොළඹ නගරයට ආවේය. අද අපි දකින්නේ එසේ ඉදි වූ නෙළුම් කුළුනයි.

 

නෙළුම් කුළුණ වෙනස් වුණු හැටි

 නෙළුම් කුළුණ ආරම්භක සංකල්පයේ සන්නිවේදන අවශ්‍යතාවලට අමතර ව, විනෝදාත්මක, වෙළෙඳ හා සංචාරක   ප්‍රවර්ධන   අරමුණු පෙරදැරි කරගෙන සංකල්ප සැලසුම් නිර්මාණය වෙමින් තිබුණද පසුව ඇති වූ ගැටලු මත කුළුණේ   මූලික අරමුණුවලට   අදාළ අංගෝපාංග රාශියක වෙනස්කම් ඇති‌ වුණා. ආරම්භක සැලසුමේ ඩිස්‌නිලන්තයට   සමානකම් දක්වන උද්‍යානයක්‌ ද   ඇතුළත්.

 

 නෙළුම් කුළුණ ආරම්භයේදී පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු යොදා තිබුණද පසුව වර්තමානයේ භූමිභාගයට   එය   ගෙන යාම නිසා විනෝදාස්වාද පිණිස යොදා ගැන්මට තිබුණු ඉඩකඩ සීමා වුණා. 

 

 ආරම්භයේදී පෑලියගොඩ හෙක්ටයාර 10 වෙනුවට නෙළුම් කුලුනට දැන් හිමිව ඇත්තේ බේරේ වැව අසබඩ වූ   හෙක්‌ටයාර 3.1ක්‌  වූ ඉඩමක් පමණි. 

 

 

අපි දකින නෙළුම් කුළුණ

 

ආසන්න වශයෙන් අඩි 1000ක් පමණ උසකින් යුක්ත වුවත් සාමාන්‍ය ජනතාවට එහි යා හැක්කේ අඩි 802ක් දක්වා වන උසකට පමණයි. එහි සිට කොළඹ නගරයම දෙස නෙත් හැර බලන්නට හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ ගොඩනැඟිල්ලක ඇති වේගවත්ම විදුලි සෝපාන පද්ධතිය ස්ථාපිතව ඇත්තේ නෙළුම් කුළුණේයි. තත්පරයකදී මීටර් 7ක්‌ ඉහළ නඟින විදුලි සෝපාන ඔස්සේ තත්පර 37 කදී කුලුන මුදුනටම ළඟා විය හැකියි. එම සෝපාන ඔස්සේ එකවර 80 දෙනකුට කුළුණ මුදුනට යා හැකියි.

 

එහි විදුලි සෝපාන 8ක් ස්ථාපිත කර තිබෙනවා. එයින් සෝපාන 3ක් කුලුණේ පාදමේ ඇති මහල් කරා ගමන් කිරීමටයි.

 

වාහන 2000ක් ගාල් කර හැකි භුගත රථ ගාලක් අඩු ආදායම්ලාභියාගේ සිට සුපිරි ආර්ථික මට්ටම් අය සඳහා වෙන්වන සාප්පු සංකීර්ණයක්, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් (gym), පිහිනුම් තටාකයක් හා සිනමා ශාලාවක් ද ඊට එක්වනවා.

 

පහළ සිට ඉහළටම දැනගෙන යමු

පළමු මහල් 4න් 3ක් වෙන් වන්නේ සාප්පු සංකීර්ණයන් වෙනුවෙනි. ඒ සඳහා ස්වයංක්‍රීය පඩිපෙළද සමන්විතයි. නෙළුම් කුලුනේ මධ්‍යයේ ගමන් කර ඉහළට ගිය විට හමුවන පොහොට්ටුවේ පළමු මහල් දෙක වෙන්වන්නේ විදුලි සංදේශ හා සන්නිවේදන අංශ වෙනුවෙන්. එය සාමාන්‍ය ජනතාවට නැරැඹිය නොහැකි විශේෂ ආරක්ෂිත කලාපයකි.

 

3 වැනි මහල හා 4 වැනි මහල් වෙන්ව ඇත්තේ විශේෂ උත්සව හෝ සම්මන්ත්‍රණ පැවැත්විය හැකි ‘බැන්ක්වට් හෝල්‘ දෙකක් වෙනුවෙනි. ඒ එක් උත්සව ශාලාවක 300කට පහසුවෙන් අසුන් ගත හැකියි.

 

5 වන මහල වෙන් වන්නේ කැරකෙන අවහන්හලටයි. එය එක තැනක අසුන් ගෙන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හතර වටේටම එකවර නැරඹිය හැකි එකම ස්ථානය වනවා. සෙමෙන් කැරකැවෙන මේ සුපිරි භෝජනාගාරයේ අසුන් ගත් අයකුට එම භෝජනාගාරයේ තමා අසුන්ගෙන සිටින ප්‍රදේශය සෙමෙන් කැරකැවෙන බවක් කිසිසේත්ම නොදැනේ. එය පැය එකහමාරක කාලයකදී එක් වටයක් ගොස් පැමිණේ.

 

කුලුනේ 6 වැනි මහල වෙන් වන්නේ සුපිරි හෝටල් කාමර වෙනුවෙනි.

 

7 වෙනි මහල නිදහසේ කොළඹ නගරය නැරඹිය හැකි නැරඹුම් ප්‍රදේශයයි. එහි නිදහසේ ගමන්කරමින් නගරය වටේටම නැරඹිය හැකිය. ගිනි පෙට්ටි ඇමුණුවා සේ ගමන් කරනු ලබන දුම්රියයන් හා සෙල්ලම් බස් සේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ගමන් කරන බස් රථ අපට එහිදී නැරැඹිය හැකියි. එකවර දහසක්‌ පමණ දෙනාට නෙළුම් කුලුනේ ඉහළ රැඳී සිටීමේ හැකියාවද තිබෙනවා.

 

එසේම අනෙක් පසින් කොළඹ වරාය නගරයද සම්පූර්ණයෙන්ම නැරැඹීමට හැකියාව තිබෙනවා.

 

කුළුණේ 8 සහ 9 මහල්ද විශේෂ ආරක්ෂිත වන අතර 8 වන මහල විවිධ යන්ත්‍රෝපකරණ හා 9 වන මහල ජල ටැංකි ආදිය සඳහා වෙන් කර තිබෙනවා. කුළුණේ ඉහළටම විහිදී යන ඇන්ටෙනාවෙන් සමස්ත ගුවන් විදුලි හා රූපවාහිනී හා දුරකතන සේවාවන් වෙනුවෙන් සපයන්නේ මහත්ම වූ සේවාවකි. විදුලි සන්දේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් කුළුනේ ඉහළම කොටසේ ඉදිකරන ඇන්ටනාවෙන් ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට හා රූපවාහිනී සේවා සපයන්නන් 50කට පහසුකම් සැපයීමට නියමිතයි. ඇන්ටෙනාවේ උස පමණක් අඩි 650ක්. ඒ මගින් කොළඹ අවට තැන තැන ඉදිකර තිඛෙන සන්නිවේදන කුළුණ රැසක් ඉවත්කොට තනි තැනක සිට සම්ප්‍රේෂණ කටයුතු පවත්වා යාමට අවස්ථාව උදාවනවා.

 

නෙළුම් කුළුණ හැඳින්වෙන්නේද අධි තාක්‌ෂණික ගොඩනැඟිල්ලක්‌ ලෙසින්. මෙහි එක් ගොඩනැඟිල්ලක සිට ඉහළම හා එක්‌ එක්‌ මහල වෙත යා යුතු වන්නේ ස්‌වයං අවසර පත්‍ර ක්‍රමවේදයක්‌ ඔස්‌සේයි. ඒ අනුව එක්‌ මහලක්‌ සඳහා ලබා දෙන විද්‍යුත් අවසර කාඩ් පතකින් තවත් මහලකට ඇතුළු විය නොහැකියි.

 

උදාහරණයක්‌ ලෙස ගතහොත් බැංක්වට්‌ ශාලාවකට ඇතුළු වීමට ලබා දෙනු ලබන විද්‍යුත් අවසර කාඩ් පතකින් කැරකෙන අවන්හලට ඇතුළු විය නොහැකියි.

 

එම නිසා ආරක්ෂාව උපරිම ලෙස යොදවා ඇත. කුලුනට ඇතුළුවීමේදී ස්වයංක්‍රීය දොරටුවලදී කාඩ්පතක් ලබා ගත යුතුයි. තමන්ට යා යුතු ස්ථානයට අදාළ කාඩ්පත ලබා ගන්නා තුරු කුලුනට ඇතුළු විය නොහැකියි.

 

මේ සඳහා වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 104.3 කි. ණය මුදල් සපයනු ලැබුවේ චීනයේ එක්සිම් (Exim) බැංකුව මගිනි.


නෙළුම් කුළුණට ඇතුළු වීම සදහා යම් ගෙවීමක් ලබා දීමට සිදුවනු ඇතිබවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම කොලඹ අවට සිරි නැරඹීමට පැමිණෙන පිරිස් හට එම අත්දැකීම ලබා දෙන්නට යම් වියදමක් දරන්නට සිදු වනු ඇති.හෙට දිනයේ කොළඹ නගරයේ සිටගත යෝධයක් සේ පෙනී සිටින නෙළුම් කුලුණ අපට හිමිවීමෙන් පසුව එහි ගමන් කර අවට සිරි නැරඹීමේ හැකියාව ඔබටත් උදාවනු ඇති.

 

 

 

 

 

තාෙරතුරු උපුටා ගැනීම් : සිළුමිණ පුවත්පතින්

views

1064 Views

Comments

arrow-up