ජාතිවාදීන් එක්ක බෑ – කුරුණෑගල රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක ඉල්ලා අස්වෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පසුගිය 05 වැනිදා වැඩ බාරගත් වෛද්‍ය එන්. ෆරීඩ් මහතා අදාල තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වන ෆරීඩ් මහතා මාසයක කාලයක් සඳහා අදාල තනතුරේ වැඩ බැලීමට පත්කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනි.
පසුගිය 05 වැනිදා වැඩ බාර ගැනීමත් සමග ජාතිවාදය ඉස්මතු කරමින් විවිධ අසත්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ තනතුරින් ඉවත්වීමට තීරණය කළ බවයි ෆරීඩ් මහතා පවසන්නේ. සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ සාෆි ෂියාබ්දීන් මහතා සහ තමන් සම්බන්ධ කර විවිධ ජාතිවාදී කටකතා නිර්මාණය කිරීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ දරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
තමන් මුස්ලිම් ජාතිකයෙකු වූ පමණින් සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා හා සම්බන්ධ කර විවිධ අසත්‍ය චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවත් මෙවැනි වාතාවරණයක් හමුවේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ෆරීඩ් මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. අදාල තනතුර සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍යවරියකගේ නම ඔහු විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත නිර්දේශ කර තිබෙනවා.
කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සරත් වීරබණ්ඩාර මහතා සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණය සිදුවන කාල සීමාව සඳහා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අදාල තනතුරට තාවකාලිකව පත්කර තිබිණි.
749 Views
Comments