වංචා දූෂණ සම්බන්ධ විමර්ශන වාර්තාව ජනාධිපතිවරයා වෙත

2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සම්බන්ධ විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ.
පසුගිය ජනවාරි මස 17 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කර තිබූ අතර ඊයේ(26) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදි ඇත.
එම කාල සීමාව තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදි ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයන් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි හා තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම යන කරුණු සම්බන්ධව කොමිසමට බලය පවරා තිබිණි.
කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පත්කර සිටි අතර සෙසු සාමාජිකයන් වූයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරච්චිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් ය.
643 Views
Comments