ජනතාව ඡන්දෙ දුන් පමණින් MCC අහෝසි කරන්න බෑ. ඒකට කමිටු වාර්තාව ඕනෙ - ගම්මන්පිල

MCC ගිවිසුම අහෝසි කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් නමුත් ඒ වනවිට ශ්‍රී ලංකා රජය ඇමරිකාව සමඟ එහි මූලික එකඟතාවන්ට පැමිණ තිබුණු නිසා එක්වරම එම ගිවිසුම අහෝසි කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා කරුණු දැක්වීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
"අපි ඉන්නෙ එම්සීසී ගිවිසුමට විරුද්ධව. ඒ නිසාම තමයි ජනතාව අපට ඡන්දෙ දුන්නෙ. ඔබ හරි. හැබැයි ඒ වනවිට ශ්‍රී ලංකා ආණ්ඩුව එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් මූලික එකඟතා ඇමරිකාව සමඟ ඇතිකර ගෙන තිබුණා.
පක්ෂය වෙනස් වුණාට ශ්‍රී ලංකා ආණ්ඩුව ආණ්ඩුවමයි. ලංකා ආණ්ඩුව පොරොන්දුවක් දුන්නා නම් මේක අත්සන් කරනවා කියලා, ලංකා ආණ්ඩුව මේකෙන් ඉවත් වෙනවා නම් ඒ ඉවත් වෙන්නෙ ඇයි කියලා අපි පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ.
ලංකා ආණ්ඩුව ඒ දේ කරන්න අවශ්‍ය පසුබිම හදාගන්න තමයි පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් කමිටුව පත් කළේ. එතුමා ඇතුළු කමිටුවේ සිතුම් පැතුම් ගැන අපට තියෙන අවබෝධය අනුව නම් අපි හිතනවා තවදුරටත් මේ ගිවිසුම ඉදිරියට ගෙනියන්න එපා කියන එක තමයි ජනාධිපතිතුමාට නිර්දේශ කරලා ඇත්තෙ. නමුත් ඒ වාර්තාව තාම එළියට දාලා නෑ.
ආණ්ඩුවක් විදියට අපි ඉවත් වෙන්නෙ ඇයි කියන එක ඇමති මණ්ඩලය ඒ තීන්දුව ගන්න ඕනෙ. පක්ෂයක් නෙවෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
1881 Views
Comments