ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන අදයි

ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන අදයි

ඇමෙරිකාවේ තේරීම් 2020 හෙවත්, ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීම නොවැම්බර් 03දා (අද) පැවැත්වීමට නියමිතය.

 

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මෙවර කරට කර තරගයක නිරත වෙති. සිව් වසරකට වරක් පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී එහි අවසන් ප්‍ර‍තිඵලය කෙරෙහි විශාල අවධානයක් යොමුවන්නේ, ඇමෙරිකාව ලෝක භූමිකාවේදී සෑමවිටම ඉදිරියට පැමිණි සහ ලෝක පොලිස්කාරයා භූමිකාව රඟ දක්වන රාජ්‍ය බැවිනි.

 

ලොව බොහෝ රටවලට සාපේක්ෂව ඇමෙරිකානු දේශපාලන ක්‍රමය තුළ ආධිපත්‍ය පවතින්නේ පක්ෂ දෙකක් වෙතය. එම නිසා සෑමවිටම ජනාධිපතිවරයා ලෙස පත්වන තැනැත්තා මෙම පක්ෂ දෙකෙන් එකකට අයත් වේ. මෙවර එම පක්ෂ දෙකෙන් තරග කරන අපේක්ෂකයන් දෙදෙනාම 70 වැනි විය ඉක්මවූවෝ වෙති.

 

ජනාධිපති ට්‍ර‍ම්ප් දෙවැනි වරට පත් වුවහොත් සිය ධුර කාලය ආරම්භ වනවිට 74 වැනි වියට පා තබන අතර, 78 හැවිරිදි බයිඩන් ජයග්‍ර‍ණය කළහොත්, ඔහු ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට තේරී පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත. ඇමෙරිකානු මැතිවරණයේදී ජාතික මට්ටමින් වැඩිම ඡන්ද හිමි කරගන්නා අපේක්ෂකයා සෑම අවස්ථාවකදීම ජයග්‍රාහකයා වන්නේ නැත. 2016 වසරේ ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් එයට ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැකිය.

 

ජනතා ඡන්දය වෙනුවට, ‘ඡන්ද සමූහය’ (electoral college) සඳහා වූ ඡන්ද දිනාගැනීම සඳහා අපේක්ෂකයන් තරග කරයි. සෑම ප්‍රාන්තයකටම එහි ජනගහණය මත පදනම් වූ නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් මෙම ‘ඡන්ද සමූහය’ සඳහා හිමිවන අතර, එම ‘ඡන්ද සමූහයේ’ සමස්ත ඡන්ද සංඛ්‍යාව 538කි. ඒ අතරින් ඡන්ද 270ක් හෝ ඊට වැඩියෙන් ලබාගන්නා අපේක්ෂකයාට ජයග්‍ර‍හණය හිමිවේ. එනම් යම්කිසි පුද්ගලයෙකු තමන් කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ඔවුන් එම ඡන්දය ලබාදෙන්නේ ජාතික තලයක නොව, ප්‍රාන්ත මට්ටමේ තරගයකටය.

 

සාමන්‍යයෙන් ඡන්දය දිනට පසුදින උදෑසන වනවිට දළ අදහසක් ලබාගැනීමට හැකිවුවත්, මෙවර මැතිවරණයේදී තැපැල් ඡන්ද වැඩි ප්‍රමාණයක් පවතින නිසා ඒ සඳහා දින කිහිපයක් ගතවිය හැකි බවටද විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත් මැතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ජයගත්තද, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ට්‍ර‍ම්ප් වෙනුවට රාජකාරි ආරම්භ නොකරයි.

 

ඒ සඳහා නිශ්චිත සංක්‍රාන්ති කාලයක් ඇති අතර එමගින් නව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය පත්කර, නව සැලසුම් සකස් කරගැනීමට අවශ්‍ය කාලය හිමිවෙයි. නව ජනාධිපතිවරයා වොෂිංටන් අගනුවර කොංග්‍රස් මණ්ඩලයට නිවහන වන කැපිටල් ගොඩනැගිල්ලේ පියගැටපෙළ මතදී දිවුරුම් දෙන සමාරම්භක උත්සවය 2021 ජනවාරි 20 වැනිදා පැවැත්වෙනු ඇත. එහිදී දිවුරුම් දෙන්නේ බයිඩන්ද, ට්‍රම්ප්ද යන්න අද දිනයේ තීරණය වනු ඇත.

 

 

views

746 Views

Comments

arrow-up