සියදිවි නසාගැනීමට මූලික හේතුව විෂාදය ( Depression)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

සියදිවි නසාගැනීමට මූලික හේතුව විෂාදය ( Depression)

සියදිවි නසාගැනීමට මූලික හේතුව විෂාදය ( Depression)

විෂාදය එහෙමත් නැත්නම් අපි ඩිප්‍රෙෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ අපේ සමාජය තුළ ලොකුවට කතා බහ වෙන මාතෘකාවක් නම් නෙවෙයි.

එහෙත් සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව විෂාදය කියලා කියන්නේ ලංකාවේ තියෙන අංක එකේ රෝගී තත්ව සහ සමාජ ගැටළු අතරින් එකක් වෙනවා.

විෂාදය හෙට ඔබට, මට නැතිනම් ඕනෑම අයෙකුට වැළඳෙන්නට පුළුවන්. ඉතින් අද අපි උත්සාහ කරන්නේ කවුරුවත් වැඩිය කතා නොකරන එහෙත් කථාබහට ලක් කළ යුතුම මේ මාතෘකාව ගැන හොයලා බලන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට නම් ලෝකය පුරා විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් මිලියන 350ක් විතර ඉන්නවා.

මේ නිසාම මිනිසුන් අකර්මන්‍ය කිරීමේ රෝග වලින් පළමු තැන ගන්නේ විෂාදයයි. ඒ වගෙම සිය දිවි නසා ගැනීම් වලට බලපාන ප්‍රධානම හේතුවත් විෂාදයයි.

විෂාදය ඕනෑම වයසක ඕනෑම පුද්ගලයෙකුට ඇති විය හැකි රෝගී තත්වයක්. නමුත් මීට වැඩිපුර ගොදුරු වන්නේ කාන්තාවන් කියලයි කියන්නේ. ලෝකය පුරාත්, ශ්‍රී ලංකාව තුළත් විෂාදය වැළඳෙන රෝගීන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමක් සංඛ්‍යාලේඛණ වලින් පෙන්වලා දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාව තුළ විෂාදයෙන් පීඩා විඳින්නන් 800,000ක් පමණ ඉන්නවා.
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල මානසික රෝග සම්බන්ධව පවතින ආකල්ප තවමත් ඒ තරම්ම සුබවාදී නම් නැහැ.

සමාජය විසින්ම මානසික රෝග වැළඳුණු පුද්ගලයන් දුර්වල, එහෙමත් නැතිනම්පිස්සෝ” ලෙස වෙන් කරමින් ඔවුන් කොන් කිරීම නිසා මේ රෝගීන් වෛද්‍ය උපදෙස් පතා පැමිණීමේ අඩුවක් තිබෙනවා.
එයට ප්‍රතිඵලයක් ලෙස වෙන්නේ රෝගය අසාධ්‍ය තත්වයට යන තුරුම රෝගීන්ට නිසි ප්‍රතිකාර නොලැබී යාමයි.

සංඛ්‍යාලේඛණ වලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 1/8ක් පමණම තමන්ගේ ජීවිතයේ යම් හෝ අවධියකදී කිනම් හෝ මානසික රෝගයකට ගොදුරු වෙනවා. නමුත් ඔවුන්ගෙන් ප්‍රතිකාර කරා යොමු වන්නේ 40%ක පිරිසක් පමණි.

යම් කෙනෙකුට විෂාදය නම් වූ මේ තත්ත්වය වැළඳීමෙන් පෙන්නුම් කරන්නේ ඒ පුද්ගලයා මානසික වශයෙන් දුර්වලයි කියලද? මේක අපේ සමාජයේ බොහෝ දෙනෙක් තුළ තියෙන වැරදි ආකල්පයක්.

හිතන්න ඔබට උණක් හෙම්බිරිස්සාවක් එහෙමත් නැත්නම් දරුණු රෝගී තත්ත්ව ලෙස පිළිකාවක් හෝ දියවැඩියාව වැනි භෞතික රෝගයක් වැළඳුණා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ නේද ඔබ දුර්වලයෙක් කියලා?
අන්න ඒ වගේ තමයි, විෂාදය හෝ වෙනත් මානසික රෝගයක් වැළඳුණු පමණින් කියැවෙන්නේ නෑ ඒක ඒ පුද්ගලයාගේ දුර්වලකමක් කියලා.

විෂාදයෙන් පෙළෙන පුද්ගලයෙක්ව හඳුනා ගන්නේ කොහොමද?

විෂාදයේ සුලබ රෝග ලක්ෂණ කිහිපයක් ලෙස:

ශරීරයෙහි බර අඩු වීම

> අනවශ්‍ය ලෙස ඇතැම් දේවල් ගැන වද වීම

> නිරන්තරයෙන් විඩාබර ගතිය

> තමාගේ වටිනාකමක් නැති බව දැනීම

> තමාගේ ශරීරයට හානි කිරීමට සිතීම

> වෙනදා සතුටක් ලැබුණු ක්‍රියාකාරකම් වලින් තවදුරත් සතුටු නොවීම

භෞතික හේතුවක් නැතිව නිතරම හිසේ කැක්කුම්, ඇඟේ වේදනා ඇතිවීම

ඔබේ පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම ඉතාමත්ම වැදගත්. බොහෝ වේලාවට විෂාදය වැළඳුණු කෙනෙකුට තමාගේ රෝගී තත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ අවබෝධය මුලදී තිබුණත්, රෝගය උත්සන්න වන විට එන්න එන්නම අඩු වෙලා යන්න පුළුවන්. ඒ නිසා විෂාදය වැළඳුණු අය ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැඩි වගකීමක් තියෙන්නේ ඔවුන්ගේ පවුලේ අයට මෙන්ම ඔවුන්ගේ හිත මිතුරන්ටයි.

විෂාදය කියන්නේ සුව කළ හැකි රෝගී තත්වයක්. මද විෂාදය නිසි උපදේශනයෙන් පමණක් වුවත් සුව කළ හැකියී. උග්‍ර විෂාදය වුවත් නොකඩවා ඖෂධ ගැනීම මගින් සුව කරන්නට පුළුවන්. මේ නිසා විෂාදය වැළඳුණු අයව හැකි ඉක්මනින්ම වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම ඉතා වැදගත්.

 


වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට සමගාමීව නිසි පෝෂණයක් ලැබීම, ව්‍යායාම වල යෙදීම, ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනීම වගේ ක්‍රිය වලිනුත් විෂාදයට සහනයක් ලබා ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික් රෝහලකම සහ මූලික රෝහල් බහුතරයකත් මනෝ වෛද්‍යවරුන් සේවය කරනවා. ඔබට උදව් අවශ්‍ය වූ ඕනෑම මොහොතක ඒ උදව් ලබා දෙන්න ඔවුන් සූදානමින් සිටිනවා. විෂාදය කියන්නේ කිසිසේත්ම ලැජ්ජාවට පත්විය යුතු තත්වයක් නෙවෙයි.

එය මිනිසුන්ට වැළඳෙන දහසක් රෝග අතරින් තවත් එකක් පමණි. ඒ නිසා ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට විෂාදය යැයි සැක හිතෙනවා නම් බල බලා ඉන්න එපා. ඔවුන්ට උපකාර කර නිරපරාදේ ජීවිතයක් නැති වීමට ඉඩ නොතබන්න.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

853 Views

Comments

arrow-up