ඔබේ දරුවාගේ උදේ ආහාරය පිළිබඳව ඔබ සැලකිලිමත් ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

ඔබේ දරුවාගේ උදේ ආහාරය පිළිබඳව ඔබ සැලකිලිමත් ද

ඔබේ දරුවාගේ උදේ ආහාරය පිළිබඳව ඔබ සැලකිලිමත් ද

එදිනෙදා ගතකරන කාර්ය බහුල ජීවිතයත් සමඟම බොහෝ දෙනෙක්ට තමාගේ උදේ ආහාරය මග හැරී යයි. කුමන හෝ ආකාරයකින් උදේ ආහාර වේල සම්පූර්ණ කර ගනිමින්, දිවා ආහාරයට ද එවැනි ම සැලකිල්ලක් දක්වමින්, උදේටත් දවල්ටත් යන දෙකටම සරිලන ලෙසට රාත්‍රියට ඉස්මුරුත්තාවට එනතෙක් ආහාර ගෙන සැපසේ නිදා ගැනීම දැන් හැමෝගෙම පුරුද්දක්. නමුත් එම පුරුද්දෙන් ඔබගේ සෞඛ්‍යයට ඇතිවන බරපතළ හානිය පිළිබඳව ඔබ මොහොතකටවත් සිතුවාද.

 

ඔබ සුලු සැලකිල්ලක් දක්වන ඔබගේ උදේ ආහාරයට ඉදිරියට නියම ස්ථානය ලබා දීම ඔබගේ වගකීමකි. විශේෂයෙන්ම දරුවන් සිටින මවුවරුන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. දවස ආරම්භ කිරීමට, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීම සඳහා මොලය සූදානම් කිරීමට දරුවාගේ උදෑසන ආහාරය ඉතාමත් වැදගත් බව පර්යේෂකයන් විසින් සනාථ කොට තිබේ. එමෙන්ම දරුවන්ගේ සිතීමේ සහ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීමටද හොඳ උදෑසන ආහාරයක් ලබා ගත යුතු බව ඔවුන් විසින් තවදුරටත් ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂක පිරිසක් විසින් සිදුකර තිබෙන පර්යේෂණයකට අනුව දිනපතා උදෑසන ආහාරය අනුභව කරන සිසුන්, කිසිදු අයුරකින් උදයට අහරක් නො ගන්නා සිසුන්ට වඩා ප්‍රතිඵල වාර්තා කිරීම අතින් ඉහළ මට්ටමක පසුවන බව අනාවරණය කරගෙන ඇත. මෙහිදී විභාග ප්‍රතිඵල සහ උදැසන ආහාරය අතර සබඳතාවක් පවතින බව මෙම පර්යේෂණය හරහා පළමු වරට හෙලි වී තිබේ. පාසල් කීපයක ඉගෙනුම ලබන සිසුන්ගේ නියැදියක් තෝරා ගනිමින් මෙම පර්යේෂණ සිදු කොට ඇත. දිනපතාම නොවරදවාම උදෑසන ආහාර ගන්නා සිසුන්ට විශිෂ්ට සාමාර්ථ ලැබීමට තිබෙන අවස්ථාව අනෙක් සිසුන්ට වඩා 1.5 ක ගුණයකින් පමණ ඉහළ බව ඔවුන්ට සොයා ගන්නට හැකි වී ඇත. විශේෂයෙන් වාර අවසාන විභාග සැලකීමේදී, ලකුණු වල සිදුවන දශම ගණනක වෙනසකින් පවා විශිෂ්ට හෝ ඊට පහල සාමාර්ථයක් ලැබීම තීරණය වන නිසා මෙය ඉතාම වැදගත් කාරණාවක්. අතරින් පතර උදෑසන ආහාර ගන්නා සිසුන් යම් ප්‍රගතියක් පෙන්නුම් කළ ද ඔවුන්ට දිනපතාම උදෑසන ආහාර ගන්නා සිසුන් පරදවා යෑමට එහිදී හැකිවී නොමැත.

 

 

හොඳ උදෑසන ආහාර වේලක් දිනපතාම ලබා දීමෙන් ඔබේ දරුවාගේ අධ්‍යාපන අංශයෙහි ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇත. මෙහිදී හොඳ උදෑසන ආහාරයක් යනු කුමක්ද යන වග මව්වරුන්ට ගැටලුවක් වීමට පුළුවනි. හොඳ උදෑසන ආහාර වේලක් යනුවෙන් අදහස් වන්නේ දරුවාගේ කුස යන්තමින්, අතට හසුවන කෙටි ආහාර වේලකින් පුරවා දැමීම නොවේ. මෙහිදී සරල පෝෂදායි උදෑසන ආහාර වේලක් මව්වරුන් විසින් දරුවන්ට ලබාදිය යුතුයි. එවිට ඔබටත් ඉගෙනීමෙහි දක්ෂ දරුවෙක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

700 Views

Comments

arrow-up