පුද්ගල ජීවිතය සමඟ බද්ධ වූ සෞඛ්‍යය සහ යහපැවැත්ම

ජීවත් වන මුළු කාලය පලදායිව ගත කිරීමට උදව් වන අසිරිමත් සිරුරක් අප සතුයි. ඔබ සතු මේ අසිරිමත් සිරුර රැක ගැනීමටත්, එයට නිසි පෝෂණය ලබා දීම සහ ඉන් උපරිම ප්‍රයෝජන ගැනීම ආදිය කෙරෙහි ඔබ දැනටමත් අවධානය යොමු කොට තිබෙන්නට පුළුවනි. සෞඛ්‍ය පිළිබඳ ඔබේ අර්ථකථනය කුමක් ද. කායික මානසික හා සමාජයීය වශයෙන් විවිධ තත්ත්වයන් හි සංකලනයක් ලෙස සෞඛ්‍ය දෙස බැලිය යුතුව ඇත. කායික මානසික සමාජයීය වශයෙන් පරිපූර්ණත්වයට පත් වීමෙන් කෙනෙකුට ලැබෙන වාසි පිළිබඳව සොයාබැලීම අත්‍යවශ්‍යයි. සෞඛ්‍යවත් කෙනෙකු පෞද්ගලික වශයෙන් ඵලදායිතාව වර්ධනය කර ගනී. සෞඛ්‍යවත් පුද්ගලයකුට තම පෞද්ගලික දියුණුව සඳහා ආයෝජනය කළ හැකි තමා සතු සම්පත් රාශියකි. කාලය, මුදල්, ශ්‍රමය, උනන්දුව, කැපවීම, කාර්යක්ෂමතාවය, ආත්ම විශ්වාසය සහ තෘප්තිය යනු සම්පත් වේ.
සෞඛ්‍යවත් පුද්ගලයාට නිතර රෝගී වන තැනැත්තාට වඩා වැඩිපුර කාලයක් ශ්‍රමයක් හා මුදලක් ඔහුගේ දියුණුව වෙනුවෙන් වැය කළ හැකිය. තමාගේ හෝ තම පවුලේ කෙනෙකුගේ අසනීපයක දී ඒ වෙනුවෙන් වැය කරන කාලය මුදල් හා ශ්‍රමය තම දියුණුවට බාධාවකි. එමෙන්ම සෞඛ්‍යවත් පුද්ගලයා තුළ තමා පිළිබඳව විශ්වාසයක් ඇත. තම කායික යෝග්‍යතාව පිළිබඳව තමා තුළ සැකයක් නැත. ක්‍රියාකාරී වීමට ඇති හැකියාව නිසා උනන්දුව හා කැපවීම පවත්වාගත හැකියි. වැඩ කිරීමට ඇති හැකියාව මත මෙන්ම එම වැඩ නිසි පරිදි නිම කිරීමෙන් ද ඔවුනට තෘප්තිමත් වීමට පුළුවනි. මේ කරුණු සියල්ල එක්තැන් වූ තැන කෙනෙකුගේ පෞද්ගලික සංවර්ධනය සිදුවේ. නිරෝගිකම උතුම්ම ලාභයයි සතුට උතුම්ම ධනයයි යනුවෙන් බුදු දහමෙහි සඳහන් වේ. හින්දු ආගම නිරෝගීව හා සතුටින් සිටීම පිළිබඳ බොහෝ කරුණු සඳහන් කරයි. පිරිසිදුකම, කායික යෝග්යතාව, නිවැරදි ආහාර තේරීම ආදියට එහි ප්‍රධාන තැනක් දී ඇත. ක්‍රිස්තියානි ආගම තුළින් ද කෙනෙකුගේ සෞඛ්‍යයට උත්තරීතර ස්ථානයක් හිමි කර ඇත. එය සර්වබලධාරී දෙවියන් වහන්සේ තරමටම උතුම් දෙයක් ලෙස දක්වා ඇත. ඉස්ලාම් ලබ්ධිකයන් පිරිසුදුකම විශ්වාසයෙ කොටසක් යනුවෙන් අදහති. තමාගේ සෞඛ්‍ය රැක ගැනීමට කළ යුතු හා නොකළ යුතු බොහෝ දේ විවිධ ආගම් වල සඳහන් වේ. එබැවින් ආගමානුකූලව දිවි ගෙවීම අද අප මුහුණ පා ඇති බොහෝ ගැටලුවලට විසඳුමක් වේ.
ඔබ විශ්වාස කරන ආගමක සෞඛ්‍ය පිළිබඳව කියවෙන පණිවුඩ හොඳින් හදාරන්න. සෞඛ්‍යවත් ජීවිතයක් ළඟාකර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් කොතෙක් දුරට ඒ ඒ ආගම්වලින් හෙළිකොට තිබේ ද යන්න දැනගැනීම පුදුමයට හේතුවිය හැකියි. ඕනෑම භාණ්ඩයකට මිලක් නියම කළ හැකි නමුත් ඔබේ සිරුරට මිලක් නියම කළ හැකිද. ඒසා වටින සිරුරේ යහ පැවැත්ම පිළිබඳව ඔබ ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වමින් කටයුතු කරන්නේද යන්න නැවතත් සිතා බැලිය යුතුයි. අනාගතය ගැන සිතන ඔබ එය සුන්දර එකක් කර ගැනීමට සිහින දකිනවා වන්නට පුළුවනි. එහෙත් සුන්දර අනාගතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් විය යුත්තේ ඔබ අද ඇතිකරගන්නා කායික මානසික හා සමාජයීය පරිපූර්ණත්වය මත බැව් අවධාරණය කළ යුතුයි. ඔබේ සෞඛ්‍යට හිතකර චර්යා ඇති කරගැනීම දිගුකාලීන යහ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වේ.
by Sachini Sooriyaarachchi
785 Views
Comments