වෙළද ඇමති කියපු විදියට ගෙදර මිරිස් පැළයක් හිටවමු

මිරිස් කියන්නේ මුළුතැන්ගෙට නැතිවම බැරි දෙයක් කියන එක කවුරුත් දන්නවා. සොලනේසියස් කුලයට අයිති කුලයට අයිති අමු මිරිස් මාළු මිරිස් වගේම කොච්චි මිරිස් වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. වෙළදපළේ මේවා ගේ මිල ගණන් තියෙන්නේ ඉතා ඉහළ මට්ටමක. ඒ නිසා මිරිස් තමන්ගේ නිවසේ වගා කර පරිභෝජනයට ගන්න ගෘහණියන් වැඩි දෙනෙක් පෙළඹිලා තියෙනවා.
මිරිස් හා කොච්චි කියන්නේ ඕනෑම දේශගුණ තත්වයක් යටතේ පහසුවෙන් වගා කරන්න පුළුවන් භෝගයක්. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 1600 ක් දක්වා ප්‍රදේශවල මිරිස් වගා කරන්න පුළුවන්. මේ සදහා සෙල්සියස් අංශක 21 27 අතර උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මිලි මීටර් 600 ඉහළ වර්ෂාපතනයක් යටතේ වුවත් මිරිස් වගා කිරීමේ හැකියාව තියෙනවා. අද ගොඩක් වෙලාවට ගෙවත්තේ පවතින අඩු ඉඩකඩ හේතුවෙන් බදුන් වගාවක් ලෙස තමයි මිරිස් වගාව දකින්න ලැබෙන්නේ.
බදුන් වගාවකට යොමු වෙනවා නම් කොච්චි ගස් පහක් මිරිස් ගස් පහක් මාළුමිරිස් ගස් පහක් පමණ නිවෙසට සෑහෙනවා. බදුන් වගාවන් සඳහා අනුමත පොලිතීන් මලු වල කොම්පෝස්ට් පොහොර පුරවලා මිරිස් වගාව කරන්න පුළුවන්. වගා මලුවල පවතින පොහොර පැළයේ වර්ධනයට ප්‍රමාණවත් වුවත් සෑම සතියකටම වරක් කොම්පෝස්ට් පොහොර ලිපේ අළු ගොම ටිකක් එකතු කලොත් අස්වැන්න වැඩිකර ගන්න පුළුවන්. වගාව බදුන් වල නැතිව බිම වගා කරනවා නම් මිරිස් වගාවට ඔබට ආරක්ෂිත වැටක් යොදන්නත් පුළුවන්. ඒ ජීව වැට දිගේ පලා වර්ග පැෂන් වැලක් නැත්නම් වැටකොළු හෝ පතෝල වගේ වැල් යන එළවළු වගාවක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අමු මිරිස් මාළු මිරිස් කොච්චි වගාව සදහා හොද හිරු එළියක් අවශ්‍ය වෙනවා. එහෙම වුනොත් තමයි හොඳින් කරල් හටගන්නේ.
කිසිම වෙලාවක රසායනික පොහොර හෝ කෘමිනාශක ඔබේ මිරිස් වගාවට යොදන්න එපා. කෘමි හානියක් කොළ කොඩි වීමක් උනොත් අනෝදා ඇට කොටලා රැයක් පෙගෙන්න තියල ඒ සාරය අරගෙන සුදු ලූනු ටිකක් අඹරලා ඒකට දාලා මිශ්‍ර කරලා වගාවට දැම්මොත් පණුවන් ඉන්නවා නම් විනාශ වෙනවා. දිලීර හා බැක්ටීරියා පාලනය වෙනවා. මිරිස් නිතරම තෙතමනේ ට කැමති භෝගයක්. නමුත් අනවශ්‍ය විදියට ජලය එක් කළොත් පොහොර සේදී යන්න පුළුවන්. තෙතමනේ වැඩිවෙලා මුල් කුණු වෙන්න පුළුවන්. ඉතින් මේ කරුණු ගැන සලකලා බලලා ඔබත් ඔබේ පුංචි ඉඩකඩේ සරු මිරිස් වගාවක් සකස් කර ගන්න. මුලුතැන්ගෙයි වියදම අඩු කරගෙන නිවසේ ආර්ථිකයට ශක්තියක් වන්න උත්සාහ කරන්න.
814 Views
Comments