ඔබ සමීපතමයන්ට මානසික පීඩා දෙන්නෙක්ද?

කිසිම පුද්ගලයෙක් කැමති නැහැ තවත් අයෙකු නිසා මානසිකව දුක් විඳින්න. ඇතම් පුද්ලයන් ඔවුන් අවට සිටින පුද්ගලයන්ට පවා මානසික පීඩා ඇති කර දෙනවා. ඇත්තෙන්ම එවැනි මිනිසුන්ව කවුරුත් ප්‍රිය කරන්නේ නැහැ. අනිත් අය ඔවුන්ගේ මුහුණට වරදක් නොකිව්වත් උපක්‍රමශීලිව ඔවුන්ව ඇසුරින් ඉවත් කරනවා. මේ ඔවුන්ගේ ගති ලක්ෂණ කිහිපයක්.
සවන් දීම හොඳ ගුණාංගයක්. සවන් දීමට අකමැති අයෙක් සමඟ ජීවත් වීම අපහසුයි. තමන්ට අවශ්‍ය දෙවල් පමණක් කතා කරන, අනුන් කතා කරන විට ඒවාට සවන් දීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකුට කවුරුත් කැමති වන්නේ නැහැ. ඔබ අන් අයටත් කතා කිරීමට අවස්තාව ලබා දිය යුතුයි. නැති නම් අන් අයගේ සිතේ ඔබ ගැන අප්‍රසන්න සිතිවිලි ඇතිවීම වලක්වාලිය නොහැකියි.
ඔබ යමෙකුට පොරොන්දු ලබා දීමෙදි සිදු වන්නේ අනෙකා තුල යම් බලාපොරොත්තුවක් ඇති වීමයි. ඇතැම් විට අනෙකා ඔබ කෙරෙහි ඇති කර ගන්නා විශ්වාසය නිසා තමන්ගේ යම් යම් දෙවල් ඔබ වෙනුවෙන් කැප කරන්නටත් පෙළඹෙනවා. නමුත් අවසානයෙදී ඔබ විසින් ලබා දුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම්, අනෙකා මානසික ආතතියට පත් වීම වලක්වාලිය නොහැකියි. ඇතැම් විට ඔබට පොරොන්දු ඉටු කිරිමට හැකියාවක් නොමැති බව සිතමින් ඔබ ඔබවම සාධාකරණීය කර ගන්නට පෙලඹෙනවා ඇති. නමුත් අනෙකාගේ පැත්තෙන් බැලූ කල, ඔහු පත් වන අපහසුතාවය තේරුම් ගන්නට ඔබට හැකි වේවි.
තමන් අතින් සිදු වන අඩුපාඩු පිලිගැනිමට නොහැකිකමත්, ඒවා අනුන් පිට පැටවීමට පෙලඹීමත් දුර්වල පෞරුෂ ලක්ෂණයන් ලෙස පෙන්වා දිය හැකියි. සමහර පුද්ගලයන් සිතන්නේ තමන්ගේ අතින් කිසිදු වරදක් සිදු නොවන බවයි. මෙබඳු පුද්ගලයන් තමන්ගේ අතින් වරදක් වුවත්, එය කිරීමට තමාට සිදු වූයේ වෙනත් අයෙකුගේ අඩුවක් නිසා බව පවසමින් හෝ එයින් ගැලවෙන්නට උත්සාහ දරයි. ඔබට ඔබේම වැරදි අඩුපාඩු පිලිගැනීම ඔතරම් අපහසු නම්, ඔබ වෙනත් අයෙකු පිට ඔහු විසින් නොකළ වරදක් පටවන විට ඔවුන් කෙතරම් අපහසුතාවයට පත් වෙනවාදැයි සිතා බලන්න.
අප එකිනෙකා එකිනෙකාගෙන් වෙනස් බව පිලිගන්නට ඔබ කැමති නැද්ද? වෙනස් ගතිගුණ සහිත මිනිසුන්ව ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට ඔබ උත්සාහ දරන කෙනෙක්ද? ඔබ අන් අයගේ නිදහසට ගරු නොකර, ඔවුන්ව ඔබට අවශ්‍ය ලෙස වෙනස් කර ගැනීමට උත්සාහ දරනවා නම් ඔබේ සමීපතමයන්, ඔබ නිසා අනිවාර්යයෙන්ම මානසික ආතතියට පත් වනු නො අනුමානයි.
ඉතින් මෙවැනි ගති ලක්ෂණ ඔබට ඇත්නම් ඒවා වහාම නිවැරදි කරගෙන අන් අයට මානසික සහනය ලබා දෙන පුද්ගලයෙකු වන්න.
by Dilki Shamani
Photo source : Internet
628 Views
Comments