ආදරණීය බැඳීම් දුරස් කරවන අසම්මත බැඳීම්

රට තුළ පැතිරී ගිය වසංගත තත්වය හේතුවෙන් මෙතෙක් කල් රොබෝවරුන් ලෙස දවස ගෙවූ ඔබට මොහොතකට ඔබගේ ආදරණීයයන් සමග රැඳෙන්නට ඔවුන් සමග අදහස් හුවමාරු කර ගන්නට අවස්ථාවක් ලැබී තිබේ. ඔබගේ පවුල තරම් අනෙකුත් කිසිදු බැඳීමක් නොවටිනා බව මේ දින වලදී ඔබට වැටහෙන්නට ඇති. ඒ වගේම මෙතෙක් කල් අනියම් සබඳතා වලට පැටලුණු අයට මොකද වුණේ කියන එක පිළිබඳව සිතීමත් වැදගත්. ඉතාම කලාතුරකින් අනියම් සම්බන්ධයක ආදරයක් තිබෙද්දී අනෙක් සෑම විටම එහි ඇත්තේ ආකර්ෂණයක් පමණයි. ඇතැම්විට බොහොමයක් අසම්මත ප්‍රේම කතා අන්තර්ජාලය වෙතින් ලද දායාද. නිවසේ සිටින සැමවිටම දුරකථනයම පීරමින් සිටියදී අන්තර්ජාලය ළඟ සිටින අය ඈත් කරවමින් ඈත සිටින අය ලං කරවයි. එවිට සිත කියන්නෙම නිවෙසින් පිට පනින්නට නොවේද.
පවුලේ බැඳීම් වලින් දුරස්වෙමින් අනියම් පෙමක රස විඳින්නට පුරුදු වූ කෙනාගේ සිත සැමවිටම රහස් වලින් පිරුණු එකක්. රහසක ආයුෂ කෙටි බැවින් රහසිගත බැඳීමක් කවදා හෝ එළි වනු ඇත. එවිට නිසැකවම සිදුවන්නේ ඔහුට හෝ ඇයට ලැජ්ජාවකට මුහුණ දෙන්නට සිදු වීමයි. එවැනි අය තම ජංගම දුරකථනය පිළිබඳව සැලකිලිමත් වන අතර බොහෝ විට එය සයිලන්ට් කර තැබීමට පෙළඹෙයි. රහසිගත බැඳීමක් සිතක් නිරන්තරයෙන්ම අසහනයට පත් කරන අතර ගැහැනු හෝ පිරිමි වේවා මෙවැනි පිරිස් බොහෝ විට අම්මා, තාත්තා වැනි වයසක අය පවා එම නිවසේ සිටිනවට කැමැත්තක් නොදක්වයි. නිවසේ සිටින වැඩිහිටි පිරිස්, දුරකථන ඇමතුම් ආදිය කෙරෙහි සැලකිල්ලෙන් සිටීම මොවුන් දැඩි ලෙස අපහසුතාවයට පත් කරනු ඇත. අනියම් බැඳීමක් වුවද අවසානයේ ශේෂ කරනුයේ දුකක් කනගාටුවක් පමණි. පසුතැවිල්ලට අමතරව සියල්ල තනිවම විඳ දරා ගත යුත්තේ තමන්මයි. එදා අනියම් පෙමට උඩගෙඩි දුන් කිසිවෙක් දැන් නොමැත. ඒ සෑම දෙනාම ඔබව මගහැර යන්නේ හිතාමතාමයි. ඔබේ චරිතයට එලෙස එක් වන කළු පැල්ලම කෙසේ නම් ඉවත් කරන්නද.
දුකින් මිදෙන්නට යැයි සිතා අනියම් පෙමක් සොයා ගිය අයට දුකකින් තවත් එවැනිම දුකකට වැටෙනවා හැර ලැබෙන කිසිදු දෙයක් නොමැත. අවාසනාවන්ත තත්වය නම් අද බොහෝ විවාහක කාන්තාවන්ට සහ පිරිමින්ට මෙය නොවැටහීමයි. එවැනි සම්බන්ධතාවයක පැටලී සිටියදී එම සහකරුවා හෝ සහකාරිය අනුමත කළ නොහැකි මොන දේ කළත් පිළිගන්නට අනෙකා බලා සිටී. එලෙස සිදු කරන්නේ තවදුරටත් එම සබඳතාව රැකගැනීමටයි. මතුපිටින් බලන කල එය ආදරයක් යැයි සිතුනද සැබෑවටම ඇත්තේ ආදරයක්මද කියා මොහොතකට හෝ සිතා බැලීම වැදගත්. සෑම විටම විවාහක බිරිඳක් නම් කළ යුතු වන්නේ සැමියා සමඟින් සහ දූ දරුවන් සමගින් ඔවුන්ගේ යුතුකම් සහ වගකීම් ඉටු කරමින් ඔවුන්ටම බැඳී සිටිමින් ජීවිතය ගත කිරීමයි. විවාහක සැමියාටත් එම කාරණයම අදාළ වේ. එවිට සෑම විටම එම ජීවිතයෙන් තෘප්තිමත් වීමට හැකියාවක් ලැබෙනු ඇත. ඇතැම් අවස්ථාවන්වලදී මෙවැනි අසම්මත සම්බන්ධතා වලට යොමු වීම මානසික රෝගී තත්ත්වයක් වන්නටද පුළුවන්. එහිදී මනෝචිකිත්සක ප්‍රතිකාර කෙරෙහි යොමු වීම ඉතාමත් වැදගත් වේ. නැතහොත් සිදුවන්නේ ඔබගේ සොඳුරු කැදැල්ල නිකරුනේ කැඞී බිඳී අළු වී යාම පමණි.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
780 Views
Comments