ගිරි උද්‍යාන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

ගිරි උද්‍යාන

ගිරි උද්‍යාන

ගෙවතු අලංකරණයේදී විවිධාකාර උද්‍යාන තියෙනවා. එලෙස නිර්මාණය කෙරෙන එක් උද්‍යාන වර්ගයක් තමයි ගිරි උද්‍යාන කියන්නේ. මේ ඒ පිළිබඳ සටහනක්.

ගිරි උද්‍යාන වල සුවිශේෂීත්වය වන්නේ ගලින් කරන ලද නිර්මාණ හා අංගවලට මූලිකත්වය දීමයි. මේ ක්‍රමයේ උද්‍යාන වඩාත් විශාල නොවන කුඩා නොවන ගෙඋයනකට ගැලපෙනවා. ඒ වගේම විෂම භූමියක් ඇති හොඳින් හිරු එළිය ලැබෙන ගෙඋයනක් මීට ඉතාම හොඳින් ගැලපෙනවා. ගල් වලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු වුවද ගල් යොදා ගැනීමෙන් ශාක වර්ග වල පෙනුමට හානි නොවන ආකාරයට යොදා ගත යුතු වෙනවා.

සමතුලිතව ගල් හා ශාක වර්ග යොදා ගැනීමෙන් උයනේ ස්වභාවික පෙනුමත් අලංකාරයත් මනාව ලැබෙනවා. ගිරි උද්‍යානයට යොදා ගන්නා ගල් වර්ග තරමක් විශාල ඒවා විය යුතුයි. එමෙන්ම උද්‍යානය වර්ගය අනුව මේ ගල් වල හැඩය වෙනස් විය යුතුයි. ගිරි උයන් ක්‍රම දෙකට සකස් කරන්න පුළුවන්. ඒ

*ක්‍රමවත් ගිරි උද්‍යාන 

*අක්‍රමවත් ගිරි උද්‍යාන ලෙස.
 


ක්‍රමවත් ගිරි උද්‍යානයක් සැකසීමේදී යම් හැඩයට ආසන්න ගල් වර්ගත් අක්‍රමවත් ගිරි උද්‍යානයකට නිශ්චිත හැඩයකට නැති ගල් වර්ගත් යොදාගන්නවා. මේ ගල් වර්ග සඳහා කළුගල් වැලි ගල් බ්ලොග් ගල් මෙන්ම කොන්ක්‍රීට් කැබලි කඩොල් කැට වැනි දේවලුත් භාවිතා කරන්න පුළුවන්.

ගිරි උද්‍යානයක් තනන විට ගෙඋයනේ විවිධ උස් පහත් මට්ටම් උපයෝගී කරගත යුතු වෙනවා. ඔබ සකස් කරන්න සූදානම් වන්නේ ක්‍රමවත් ආකාරයක ගෙඋයනක් නම් ගෙවත්තට ගල්වලින් බැමි ආකාරයේ ව්‍යුහයන් එක්කළ යුතුයි. මෙලෙස සකසන බැමිවල උස ගෙඋයනේ දර්ශනයට හානි නොවන ලෙස සැකැස්ම කළ යුතුය. මේ බැම්ම ඔබට අවශ්‍යනම් බැඳීම සඳහා සිමෙන්ති යොදා ගත හැකි නමුත් බැම්මේ පිටතට සිමෙන්ති යෙදූ බව නොපෙනිය යුතුයි.

නිර්මාණය කිරීමට අදහස් කරන්නේ අක්‍රමවත් ගෙඋයනක් නම් බැමි සහිත ව්‍යුහයන් එතරම් අවශ්‍ය වන්නේ නෑ. මෙහිදී ගෙඋයන පුරා විසිර යන ආකාරයට ගල් ස්ථාන කරගත හැකි නමුත් එය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි. ගල් නිසි ලෙස ස්ථානගත නොවීමෙන් උයනේ සමබරතාවය නැතිවී සුන්දර පෙනුම අඩු වෙන්න පුලුවන්.

 

 

 


ගල් ආදීන් කරන ලද නිර්මාණ ගල් වලින් පමණක් උද්‍යානය නිම කරන්න බැහැ. එහි අලංකාර පෙනුමට ශාක වර්ගත් අවශ්‍ය වෙනවා. හැම ශාක වර්ගයක්ම ගිරි උයනට ගැලපෙන්නෙ නැහැ. ඒ සඳහා ගල් ආශ්‍රිතව වැඩෙන පතොක් වර්ග බ්‍රොමීලියාඩ් වර්ග හොඳින් ගැලපෙනවා. ශීත දේශගුණයක් සහිත ප්‍රදේශයක නම් ඔබේ ගිරි උයනට ඇල්පයින් වර්ග අනොමොන්, නිමෙරොසා වැනි වර්ග සුදුසු වෙනවා.

මෙවැනි කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගෙන ඔබේ ගෙවත්තටත් ගිරි උද්‍යානයක් සකස් කර ගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

2163 Views

Comments

arrow-up