සමුගත් බයිලා කුමරු

බයිලා කුමරු ලෙස විරුදාවලී ලැබූ ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු බයිලා, පොප් සහ සරල ගී ඇතුළු සෑම සංගීත ආරකම ගී ගැයීමේ දක්ෂයකු වූ අතර මෙරට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයකු ලෙස රසික ජනාදරය ලැබීය. සිය 68 වැනි විය ගෙවමින් සිටියදී ටික කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ පෝල් ප්‍රනාන්දු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 16 වැනිදා පස්වරුවේ සිය දිවි සැරිය නිමා කර තිබේ.
මඩවල හේවගේ පෝල් ප්‍රනාන්දු උපත ලබා ඇත්තේ 1951 වසරේ නොවැම්බර් මස 24යි. පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූයේ පෝල් ය. මොරටුව වේල්ස්කුමර විද්‍යාලයෙන් ඔහු අධ්‍යාපනයේ මුල් පොත කියවූ අතර කලාකරුවන් රැසකගේ පාරාදීසයක් බඳු මොරටු පුරවරයේ උපත ලැබූ නිසාමදෝ පෝල් ද කුඩා වියේ සිට සංගීතයට අපමණ ආශාවක්, උනන්දුවක් දැක්වීය.
පාසල් කාලයේදී පටන් ගීත ගැයීමට සමත් ඔහු 1969 දී මොරටුව බෞද්ධ මන්දිරයේ පැවති 'ටැලන්ට් 69'ආධුනික ගී තරගය පෝල්ගේදී දහඅට හැවිරිදි තරුණයකු වූ ඔහු එහිදී ගායනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී එම්.එස්. ප්‍රනාන්දුගේ 'අශෝක මල් මාල නෙළාලා' ගීතය ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට සමත්විය. එම ගීත තරගයේ ප්‍රථමයා ලෙස කිරුළු පැළඳි ඔහු එතැන් සිට ඔහු කෙමෙන් කෙමෙන් මෙරට සංගීත ලෝකයේ ජනප්‍රිය ගී තරුවක් බවට පත්විය. ඔහුගේ පළමු ගීතය වූ ‘මාලා මම ඔබ ගැනම සිතාලා' ගීතය හරහා ඔහු රසිකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.
එතැන් පටන් ගීත රාශියකට සිය හඬ දායකත්වය ලබාදුන් ඔහු වැඩි වශයෙන් බයිලා ආරයට නැඹුරු ගීත ගායනා කිරීම නිසා ඔහු 'බයිලා කුමරු'නමින්ද හඳුන්වනු ලැබීය. විශේෂයෙන්ම 70-80 දශකයේදී මෙරට අතිශයින් ජනප්‍රිය ගායන ශිල්පියකු වූ පෝල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ගායනය තුළින් තව තවත් රසික හදවත් වෙතට සමීප විය. ප්‍රසංග වේදිකා ගීත හා කැසට් පට වලට අමතරව ඔහු විශාල චිත්‍රපට සංඛ්‍යාවකට චිත්‍රපට පසුබිම් ගායනයෙන් දායක විය. මේ අපූර්වතම ගායන ශිල්පියා 500කට අධික ගීත සංඛ්‍යාවක් ගායනා කොට ඇති අතර 50කට අධික කැසට් පට සංඛ්‍යාවක් නිකුත් කර ඇත.
හිත හොඳ මිනිසකු ලෙස කලා ලෝකයේ කා අතරත් ප්‍රකටව සිටි ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු සෞන්දර්යවාදියකු විය. ආදරණීය පෝල් ජීවිත රඟමඬලින් බැස ගියද ඔහු ඉතිරි කර ගිය මිහිරි ගී මතකය සදාතනිකව ප්‍රේක්ෂක ආදරය ලබනු ඇත.
by Dilki Shamani
Photo source : Internet
305 Views
Comments