ව්‍යාපාරික ඔබට වැදගත් මූල්‍ය අනුපාත
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
08

ව්‍යාපාරික ඔබට වැදගත් මූල්‍ය අනුපාත

ව්‍යාපාරික ඔබට වැදගත් මූල්‍ය අනුපාත

ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාර පවත්වාගෙන යාමේදී මූල්‍ය අනුපාත වර්ග වැදගත් වේ. මූල්‍ය අනුපාත වර්ග ගණනය කිරීම හරහා ව්‍යාපාරිකයන්ට තමාගේ ව්‍යාපාරික තත්ත්වය පිළිබඳව යම් යම් නිගමන වලට එලඹීමට හැකියාවක් ලැබේ. එවැනි වැදගත් වන මූල්‍ය අනුපාත කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

ජංගම අනුපාතය -
ව්‍යාපාරයේ ජංගම වත්කම් සහ ජංගම වගකීම් අතර පවත්නා සම්බන්ධතාව පෙන්නුම් කරන අනුපාතයයි. මෙයින් ව්‍යාපාරයක ජංගම වගකීම් වලට මුහුණ දීමට ජංගම වත්කම් වලට ඇති හැකියාව පෙන්නුම් කරයි.

ක්ෂණික අනුපාතය-
ජංගම වගකීම් සහ ද්‍රවශීල වත්කම් අතර ඇති සම්බන්ධතාව පෙන්වන අනුපාතයයි. ක්ෂණිකවම මුදල් බවට පත් කරගත හැකි ජංගම වත්කම් වලින් ජංගම වගකීම් පියවා ගැනීමට ඇති ශක්තිය මෙයින් පරික්ෂා කෙරේ. මෙය ඇසිඩ් පරීක්ෂාව ලෙසද හඳුන්වයි. ජංගම වත්කම් වලින් භාණ්ඩ තොගය, කලින් ගෙවූ වියදම් අඩු ද්‍රවශීලතාවක් ඇති වත්කම් ඉවත් කර ද්‍රවශීල වත්කම් ගණනය කරනු ලැබේ.

මුදල් අනුපාතය-
මුදල් හා මුදල් වලට ආසන්න සුරැකුම්පත් සහ ජංගම වගකීම් අතර ඇති සම්බන්ධතාව පෙන්නුම් කරන අනුපාතයයි.

කාල මිනුම-
ව්‍යාපාරයේ ශ්‍රමික නැත්නම් ද්‍රවශීල වත්කම් සහ සාමාන්‍ය දෛනික මෙහෙයුම් වියදම් අතර පවත්නා සම්බන්ධතාව පෙන්නුම් කරන අනුපාතයයි. එදිනෙදා වියදම් පියවීමට ආයතනයට ඇති හැකියාව මෙම මිනුම් මගින් පෙන්නුම් කරයි.

තොග පිරිවැටුම් අනුපාතය-
තොගය විකුණුම් බවට පත් වීමේ සීඝ්‍රතාව ප්‍රමාණාත්මකව දැක්වෙන අනුපාතයයි. එනම් නිශ්චිත කාලසීමාවක් තුළ ව්‍යාපාර සතු සාමාන්‍ය භාණ්ඩ තොගය විකුණුම් බවට පත් වන වාර ගණනයි.

ණයගැති පිරිවැටුම් අනුපාතය-
යම් කාලපරිච්ඡේදයක් තුළ ණයගැතියන් මුදල් බවට පත් වන වාර ගණන පෙන්නුම් කරන අනුපාතයයි. එනම් ව්‍යාපාරය කොතරම් කාර්යක්ශම ලෙස ණයගැතියන්ගෙන් මුදල් එකතු කරන්නේ ද යන්න පෙන්නුම් කරන අනුපාතයයි.

මුලු වත්කම් පිරිවැටුම් අනුපාතය-
ව්‍යාපාරයේ මුළු වත්කම් සහ විකුණුම් අතර ඇති සම්බන්ධතාව පෙන්නුම් කරන අනුපාතයයි. එනම් ව්‍යාපාරය සතු මුළු වත්කම් කොතෙක් දුරට කාර්යක්ෂමව යොදා ගෙන තිබේද යන්න පෙන්නුම්කරන අනුපාතයයි.

සාමාන්‍ය එකතු කිරීමේ කාලය-
ණයගැතියන්ගෙන් මුදල් එකතුකර ගැනීමට ගතවන සාමාන්‍ය කාලයයි. මෙය අනුපාතයක් ලෙස ක්‍රම තුනකට ගණනය කළ හැකියි. මෙය ලැබිය යුතු ණය පිරිවැටුම, ණයගැතියන්ගෙන් එකතු කිරීමේ කාලය ලෙසද හඳුන්වයි.

තොග අතැති දින ගණන-
සාමාන්‍ය භාවිත තත්ත්වය යටතේ ව්‍යාපාරය සතු භාණ්ඩ තොගය කොපමන කල් පවතින්නේද යන්න මේ තුලින් පෙන්වයි.

ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය-
ව්‍යාපාරය සතු දේපල යන්ත්‍ර සූත්‍ර උපකරණ යනාදී ස්ථාවර වත්කම්, විකුණුම් ජනිත කිරීමට උපයෝගී කරගෙන ඇති ආකාරය පෙන්නුම් කරන අනුපාතයයි. ස්ථාවර වත්කම් වල ආයෝජනයේ කාර්යක්ෂමතාව මින් පෙන්නුම් කරයි.

ණය අනුපාතය-
ආයතනයේ මුලු ප්‍රාග්ධනයෙන් කොපමණ ප්‍රමාණයක් ණය ප්‍රාග්ධනයෙන් සමන්විත වේද යන්න ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරන අනුපාතයයි.

තෝලන අනුපාතය-
ණය ප්‍රාග්ධනය සහ හිමිකාරීත්ව ප්‍රාග්ධනය අතර සම්බන්ධතාව පෙන්වන අනුපාතයයි. මෙය ණය හිමිකාරීත්ව අනුපාතය, ණය ස්කන්ධ අනුපාතය ලෙස ද හැඳින්වේ.

පොලී ආවරණ අනුපාතය-
ව්‍යාපාරයෙ ඉපැයීම් වලින් පොලිය කී වාරයක් ගෙවිය හැකිද යන්න පෙන්නුම්කරන අනුපාතයයි. එනම් පොලී ප්‍රමාණය මෙන් කොපමණ වාර ගණනක ඉපයීමක් තිබේද යන්නයි. මෙය පොලී ඉපයීමේ වාර අනුපාතය ලෙස ද හඳුන්වයි.

මෙම අනුපාත පිළිබඳව ඔබ ලබාගන්නා දැනුම ඉදිරියේදී ඔබ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන කෙනෙක් නම් එහිදීද වඩාත් වැදගත් වනු ඇත. එමෙන්ම මූල්‍ය අනුපාත ගණනය කිරීමෙන් පසුව ලබාගන්නා වූ ව්‍යාපාරික තීරණ වඩාත් කාර්යක්ෂම වනු ඇත.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1422 Views

Comments

arrow-up