ගොවි ජනතාව දේවත්වයෙන් සලකන උමා ඔය

ශ්‍රී ලංකාව යනු වාරි තාක්ෂණයෙන් අගතැන්පත් රටකි. අපගේ මුතුන් මිත්තන් වාරි කර්මාන්තය ආරම්භ නොකරන්නට අදවන විට අප රට තුළ කෘෂිකර්මාන්තය දකින්නටවත් නොහැකි වන්නට තිබුණි. වාරි තාක්ෂණයේ පවතින සුන්දරත්වය මෙන්ම ප්‍රයෝජනවත්භාවය මනාව විදහා දක්වන්නකි උමාඔය.
බදුල්ල දිස්ත්‍රික්කය හරහා ගලා බසිනා ප්‍රධානම ගංගාව උමා ඔයයි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී බදුල්ල දිස්ත්රික්කයේ ව පරණගම වැලිමඩ හාලිඇල කන්දකැටිය සහ මහියංගනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා ගලා ගොස් මෙම උමාඔය රන්ටැඹේ ප්‍රදේශයේ දී මහවැලි ගඟට එකතු වෙයි. මෙම උමා ඔය අනාදිමත් කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සානුවේ පිහිටි ගොවිබිම්වලට මෙන්ම බදුල්ල දිස්ත්රික්කයේ ඇති ප්‍රධානතම වාරිකර්මාන්ත වන බදුලු ඔය ව්‍යාපාරය, බත්මැඩිල්ල ව්‍යාපාරය, මොරාණ ව්‍යාපාරය සහ නාගදීප ව්‍යාපාරය යන මහා පරිමාණ ව්‍යාපාර වලට ජලය සපයමින් එම ව්‍යාපාර වල කුඹුරු අක්කර දහස් ගණනක් වගා කිරීම සඳහා ජලය බෙදා දීමට සමත් වී තිබීම විශේෂත්වයකි. මීට අමතරව මෙම ප්‍රදේශවල ගොවි ජනතාව විසින් සිය ගොඩ ඉඩම් වල එළවළු වගා කිරීම සඳහා ද මෙම උමාඔයේ ජලය අතීතයේ සිටම ප්‍රයෝජනයට ගනු ලැබිණි. මේ නිසා අතීතයේ සිටම වැලිමඩ සානුවේ මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ද ජනතාව මෙම උමා ඔයට දේවත්වයෙන් සැලකූහ.
උමා ඔයේ පූර්ණ සැලසුම් අනුව මුලින්ම වැලිමඩ පුහුල්පොල ප්‍රදේශයේ උමා ඔය හරස් කර වේල්ලක් බැඳ ජලාශයක් ඉදිකර එම ජලය කිලෝමීටර් 4.2 ක් දුර රැගෙන විත් ඩයබරා ප්‍රදේශයෙන් මාතැටිල්ල ඔයට මුදාහැරේ. පසුව මාතැටිල්ල ඔය ද හරස් කර වේල්ලක් බැන්ද ඒ ඔයවල් දෙකේම ජලය කිලෝමීටර් 15 ක් දිග උමං මාර්ගයක් ඔස්සේ කරදගොල්ල ප්‍රදේශයට ගෙන එනු ලැබේ. මෙගාවොට් 120 ක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන විදුලි බලාගාරය වැල්ලවාය කරඳගොල්ල ප්‍රදේශයේ ඉදි කෙරේ. ඊට පසු ඒ ජලය තවත් උමං මාර්ගයකින් අලිකොටආර ප්‍රදේශයට යැවේ. එහි ජලාශයක් ඉදිකර ඒ ජලය කුඩා ඔයට ලබාදී පසුව හඳපානාගල වැව බැම්ම උස්සා පුරවනු ලැබේ. ඊට පසු ඒ ජලය මගින් පහළ වැල්ලවාය තණමල්විල ලුණුගම්වෙහෙර වැව් 96ක් පුරවයි. ඒ ජලය මගින් ගොඩ මඩ ඉඩම් අක්කර 2500ක් අස්වැද්දීමත් හම්බන්තොට නව සංවර්ධන ප්‍රදේශයට ජලය දීමත් මෙහි අරමුණ විය.
මෙවන් ප්‍රයෝජන රැසක් මිනිසාට ගෙනදෙන උමා ඔය පරිසර දූෂණයෙන් වලක්වා ගනිමින් ඉදිරි පරම්පරාවටද රැකගැනීම අපගේ ජාතික වගකීමක් වන්නේය.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
872 Views
Comments