සිනමා ලෝකයට ආලෝකයක් ගෙනදුන් විකිරණවේදී වෛද්‍යවරයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

සිනමා ලෝකයට ආලෝකයක් ගෙනදුන් විකිරණවේදී වෛද්‍යවරයා

සිනමා ලෝකයට ආලෝකයක් ගෙනදුන් විකිරණවේදී වෛද්‍යවරයා

70 80 දශකයේ ශ්‍රී ලාංකික සිනමාව ඉන්දියානු අනුකරණවාදීත්වයෙන් ගිල ගෙන තිබූ අවධියක සිනමාකරණයේ දැවැන්තයෙකු ලෙසින් පෙරට පැමිණ විශාල සේවාවක් ඉටු කළ කලාත්මක සහ ආකර්ෂණීයත්වයෙන් පිරි සිනමා කලාවක් බිහි කළ උත්තම පුරුෂයෙකි ආචාර්ය සෝමරත්න දිසානායක. එසේත් නැත්නම් ඔහු හැඳින්විය හැක්කේ දිසානායක විජේසිංහ ආරච්චිලාගේ සෝමරත්න දිසානායක යන නමිනි. වර්තමානයේ දී දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වන සුනාමි චිත්‍රපටයෙහි අධියුරුවරයා වන්නේද ඔහුයි.

කුරුණෑගල දඹදෙණිය ආශ්‍රිතව පොතුපිටිය ග්‍රාමයේ දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නා වශයෙන් ඉපිද ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්ව කඩඉමෙන් නාරම්මල මයුරපාද විද්‍යාලයට ඇතුළත් වන මෙතුමාණන් ළමා වියේ පටන්ම පාසලේ සියලුම විෂයයන් කෙරෙහි දක්වන ලද්දේ අසීමිත දක්ෂකමකි. එම දස්කම් සියල්ලටම අමතරව ගද්‍ය පද්‍ය නිර්මාණකරණයට ද කථික විවාද හා නාට්‍ය හා රංග කලාවේ ද නිපුණයකු බවට ද විදුහලේ කැපී පෙනුණු රිතයක් වුවද උසස් පෙළ කඩඉමට සූදානම් වූයේ ජීව විද්‍යා අංශයෙනි. එම නිසාවෙන්ම කලා හැකියාවන්ගෙන් පිරිපුන් විද්‍යා සිසුවා යන නාමයෙන් විද්‍යාලයේ කා අතරත් ප්‍රචලිත වූයේය. මෙලෙස පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලන්ඩන් විකිරණවේදී උපාධිය සම්පූර්ණ කරන්නට ඔහු සමත් විය. විශ්වවිද්‍යාලයෙහි සිටින කාලයේදී නාට්‍ය විෂය පිළිබඳව ඉගෙන ගැනීම සඳහා ධම්ම ජාගොඩ මහතා සහ සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය පුහුණුවට ද ඔහු එකතු විය.

 

 

 


එකල මෙම උපාධිය සම්පූර්ණ කළ සියලු විද්‍යාර්ථයන් විදේශීය රටවල රැකියා උදෙසා රට හැර ගියෝය. නමුත් ඔහුගේ පාසල් සමයේ සිට තිබූ කලාවේ හීන සැබෑ කර ගැනීමේ අධිෂ්ඨානයෙන් ලංකාව හැර යාම පසෙක තබා කොළඹ ජාතික රෝහලේ විකිරණවේදී විශේෂඥයකු වශයෙන් සිය පළමු රැකියාව ආරම්භ කළේය. මෙසේ සිය වෘත්තීය සේවය තුළින් දහසකුත් රෝගීන් වෙනුවෙන් කටයුතු කරද්දීම සිය කලා හැකියාවන් තුළින් සුවහසක් රසික සිත් සුවපත් කරන්නට ද මෙතුමා කටයුතු කළේය. මෙසේ වසර පහක කාලයක් ජාතික රෝහලේ ද නාවික හමුදා රෝහලේ ද කටයුතු කළ ඔහු ස්ට්‍රේලියාව බලා ගොස් දීර්ඝ කාලයක් එහි සිය වෘත්තීය කටයුතු වල නිරත විය. එලෙස ඔහු විදේශගත වූයේ 1978 වර්ෂයේදී සිඩ්නි නුවර පූර්ණ කාලීන රැකියාවක් සඳහායි. එහිදී සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් සිනමා කරණය පිළිබඳව එම් ඒ උපාධියක් ද ලබා ගන්නටද ඔහු සමත් වීම විශේෂත්වයකි. වෙඩික්කාරයෝ ඔහුගේ පළමු නාට්‍ය නිර්මාණයයි. එතැන් පටන් සරෝජා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි, බිංදු, සිරිපැරකුම්, සරිගම සහ සුනාමි යනාදී චිත්‍රපට ගණානාවක් සහෘද ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරන්නට ඔහු සමත් විය.

ඇත්තෙන්ම සෝමරත්න දිසානායකයන් නොවන්නට සිනමාකලාව මෙතරම් ආකර්ෂණීය මෙන්ම දරුවන්ට ලැදි කලාවක් නොවන්නට තිබුණි. ඔහු විසින් මේ දක්වා ශ්‍රී ලාංකීය කලාවට සිදුකළ මෙහෙවර මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

923 Views

Comments

arrow-up