නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ වගතුග
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ වගතුග

නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ වගතුග

දේශපාලන බලයේ වෙනස්කම් සමඟ ආර්ථික ප්‍රතිපත්තියේ වෙනස්කම් මත නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන කාලපරිච්ඡේද ගණනාවක් ගෙවුණු බව ඔබ දන්නවාද. 1948 ත් 1956 ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වුණේ නිර්බාධ සම්ප්‍රදායික ආර්ථිකයකි. බලයට පැමිණි සෑම රාජ්‍යයක්ම එතෙක් පැවති යටත්විජිත ආර්ථික ප්‍රතිපත්තිය සුවිශේෂ වෙනසකට භාජනය නොකර පවත්වා ගැනීමට උත්සාහ කළේය. 1950 ගණන්වල ඇතිවූ කොරියානු යුද උත්පාතය සහ තේ උත්පාතය මඟින්ද ලෝක බැංකු උපදෙස් වලින්ද මුළාවට පත් වූ පාලකයන් කාර්මීකරණය කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන ලද අතර ආණ්ඩුවේ සංවර්ධන උපායමාර්ග මූලික වශයෙන් යොමු වූයේ කෘෂිකර්මාන්තය වෙතටයි. තවද මෙම කාලයේදී යටත් විජිත පාලනයෙන් ශ්‍රීලංකාවට උරුම වූ සුභසාධන රාජ්‍ය සංකල්පය මගින් යැපුම් මානසික තත්ත්වයක් ජනතාව තුළ බිහි කරන ලද අතර අපනයන ඉපැයීම් ඇසුරින් උපයා ගනු ලැබූ රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු කොටසක් සුබසාධනයට යොමු කිරීම නිසා රාජ්‍ය ආයෝජනය පහළ මට්ටමක පැවතුණි. තවද සෑම දේශපාලන පක්ෂයක්ම සුභසාධනය සඳහා වූ සමාජයීය හා දේශපාලන බලය ලබා ගැනීමට සහ තහවුරු කරගැනීමට ආයුධයක් බවට පත්කර ගන්නා ලදී. එමෙන්ම ආන්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සහ සුබසාධන ප්‍රතිපත්තිය ද එකිනෙකට ගැටෙන සුළු වූ නිසා ආණ්ඩු අපේක්ෂා කළ කෘෂිකාර්මික සංවර්ධනය ද අපේක්ෂිත මට්ටමින් සිදු නොවුණි.

1956 ත් 1977 ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ පාලිත ආර්ථික ක්‍රමයකි. මෙහිදී විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ සිට දැඩි පාලන සහිත සමාජවාදී ක්‍රමයකට ආර්ථිකය මෙහෙයවන ලද අතර සංවර්ධන උපාය මාර්ගයක් වශයෙන් ආනයන ආදේශන කාර්මීකරණ ප්‍රතිඵත්තියක් වෙත යොමුවී ඇත. එමෙන්ම එවකට පැවති යටත්විජිත ආර්ථික රටාව වෙනස් කිරීමේ අවශ්‍යතාවය සහ වර්ධනය වෙමින් පැවැති විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමේ අපේක්ෂාවෙන් රජය මෙම ආර්ථික ප්‍රතිපත්තියට යොමු වී ඇත. 1970 සිට 1977 දක්වා කාලය තුළ මෙම ප්‍රතිපත්තිය තීව්‍ර ලෙස ක්‍රියාවට නැංවෙන අතර පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීම, ආදායම් සීමා පැනවීම, සුභසාධනය පුළුල් කිරීම, ආදායම් ව්‍යාප්ති විෂමතා අඩු කිරීම, මධ්‍යගත ක්‍රමය ස්ථාපිත කිරීම වැනි ලක්ෂණ රැසක් දැක ගන්නට තිබුණි. මෙම ප්‍රතිපත්තිය යටත් විජිත ආර්ථික ව්‍යුහය ඇතැම් වෙනස්කම් කිරිමට හේතුවක් වූවද එමගින් විදේශ විනිමය අර්බුදය පියවා ගැනීම සහ ආර්ථික වර්ධන අභිලාෂයන් ඉටු නොවුණි. සමස්තයක් වශයෙන් ගත් විට මෙම සමාජවාදී ස්වරූපයේ ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වූයේ නැත.

 

 

 


1977 සිට 2005 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දක්නට ලැබුණේ නිර්බාධ ආර්ථික ප්‍රතිපත්තියකි. 1977 වර්ෂය අවසානයේ ලෝකය පුරා පැතිර යමින් පැවති චින්තන ප්‍රවාහය වූයේ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය අකාර්යක්ෂම බවත් වෙළෙඳපොළ බලවේග වලට නිදහසේ ක්‍රියාත්මක වීමට දීම කාර්යක්ෂමතාවය සඳහා අත්‍යවශ්‍ය බවත් වේ. මේ අනුව යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනස්කම් සිදු කරන ලද අතර රාජ්‍ය වියදම් සීමා කිරීම සහනාධාර සහ මිල පාලන ක්‍රම ඉවත් කිරීම පෞද්ගලික ආයෝජන සඳහා සානුබල සැපයීම පෞද්ගලීකරණය සහ නියාමනහරණය මෙම ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ලක්ෂණ විය. මෙහිදී රජය හැකිතාක් හකුළුවාලීම අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දුන් අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලැබුණි. මෙම ප්‍රතිපත්තියේ ක්ෂණික ප්‍රතිඵල ලෙස සුභසාධන රාජ්‍යය සංකල්පයේ මූලිකාංග වියැකී කාර්මීකරණය තුළින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමත් අපනයන ප්‍රවර්ධනය තුළින් විදේශ විනිමය අර්බුදය විසඳීමත් අපේක්ෂා කරන ලදී. මෙම ප්‍රතිපත්තිය ආරම්භ කළ මුල් අවධියේ දී සමාජයේ නිරපේක්ෂ දරිද්‍රතාවය ක්‍රමයෙන් අඩු වුවද පසුව ලත් අත්දැකීම වූයේ එම ප්‍රතිපත්තිය ජනගහනයේ වඩා දුබල සහ ආන්තික කොටස් මත කෙරෙන බලපෑම අයහපත් බවයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයන් වශයෙන් ඔබ අප සැම සියලු දෙනාම එතෙක් මෙතෙක් පැවැති ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත් වී සිටීම ඉතාමත් වැදගත්. එම දැනුම භාවිතයෙන් වර්තමානයේදී රජය විසින් ගනු ලබන ආර්ථික ප්‍රතිපත්තීන් අගය කිරීමටත් ඒවායේ අඩුපාඩු පෙන්වා දීමටත් වගකීම් සහගත පුරවැසියෙක් වශයෙන් ඔබටත් හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

4091 Views

Comments

arrow-up