ගොතික් සිතුවම් ඇති ගාලුකොටුවේ දෙව්මැදුර

ගාල්ල කොටුවේ ඇංග්ලිකානු දේවස්ථානයේ ඉතිහාසය සොයායන විට ලන්දේසි පාලන සමයේදී මෙම භූමියේ මහේස්ත්‍රාත් උසාවියක් පැවැත ඇති බවත් පසුව එය ඉවත් කර 1868 ඔක්තෝබර් 30වන සිකුරාදා දින මෙම දේවස්ථානයට මුල් ගල තබා ඇති බවත් සඳහන් වේ. මෙම දේවස්ථානයේ ඉදිකිරීම් භාරව කටුයුතු කළ සැලසුම් ශිල්පියා වූයේ 19වන සියවසේ අගභාගයේ විසූ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජේම්ස් ජී. ස්මිදර් මහතාය. ඔබ හොඳින් දන්නා කොළඹ ජාතික කෞතුකාගාරයේ නිර්මාණ සැලසුම ද මෙම ශිල්පියාගේ වේ. මෙසේ ඉදිකිරීම් කටයුතු ඇරඹි දේවස්ථානයේ සියලුම ඉදිකිරීම් මාස 27ක් වැනි ඉතා කෙටි කාලයක දී අවසන් කර 1871 පෙබරවාරි 21 දින ආගමික කටයුතු සඳහා විවෘත කර ඇත.
මෙම දේවස්ථානයේ කිතුගොස ලෝකය පුරා පැතිරීමට ප්රමුඛ හේතුව වී ඇත්තේ එහි ඇති නිර්මාණාත්මක ලක්ෂණයි. එහිදී වර්ණවත් වීදුරු සිතුවම්වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වර්ණිත වීදුරු සිතුවම් කලාව හෙවත් ස්ටෙයින්ට් ග්ලාස් ලෙස සාමාන්‍යයෙන් ප්‍රචලිත මෙම කලාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. වර්ණවත් හෝ අවර්ණ වීදුරු මත රිදී ආම්ලික සංයෝගයක් සහිතව චිත්‍රයක් නිර්මාණය කිරීමෙන් වර්ණිත වීදුරු සිතුවම් කලාව බිහිවේ. මෙම කලාව යුරෝපයේ පල්ලිවල කවුළු හා ප්‍රධාන දොරටුවල ඉහළ කොටස අලංකාර කිරීම සඳහා භාවිතකර ඇත. ගොතික් කලාව අනුව යමින් නිර්මාණිත ගාල්ල කොටුව සියලු සාන්තවරුන්ගේ දේවස්ථානයේදී සාම්ප්‍රදායික ආරුක්කවෙන් මිදී කැඩුණු ආරුක්කු සහිත දොරටු හා කවුළු යොදාගෙන ඇත. එනම් අර්ධ චාප දෙකක් උල් ආකාරයට සිටින ලෙස එකට එක්කළ හැඩයක් මෙමගින් දිස් වේ. දේවස්ථානය තුළ ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත දැවැන්තවූත් ඉතා අලංකෘතවූත් කුලුනු 4ක් දැකගත හැකි වේ. දේවස්ථානයේ කවුළු අලංකාර කිරීම සඳහා වර්ණවත් වීදුරු සිතුවම් යොදාගෙන ඇති අතර එම සිතුවම් සඳහා වස්තු විෂය වී ඇත්තේ බයිබලයේ එන විවිධ අවස්ථාවන් සහ සිද්ධීන්ය.
මෙම දේවස්ථානය තුළ එක් පසෙකින් දේවස්ථානය ආරම්භයේදීම භාවිතයට ගන්නා ලද භෞතීස්ම කිරීම සඳහා භාවිත කරන පූජනීය පොකුණක් වේ. එය නිර්මාණිත දිනය එහි පාදමේ යොදා ඇති අතර එය 1868 දෙසැම්බර් 28 ලෙස සඳහන්ය. මෙම දේවස්ථානයේ පළමු පියතුමා පූජනීය ජේාර්ජ් ජස්ටස් සෝඩර් වන අතර එතුමා 1868 වර්ෂයේ සිට 1875 දක්වා කටයුතු කර වයස අවුරුදු 46 දී ස්වර්ගස්ථ වී ඇත. එම පියතුමන්ගේ සොහොන ගාල්ල නගරයේ ටැල්බට් ටවුමේ පිහිටි පැරැණි සුසාන භූමියේ ස්ථාපිත කර තිබේ.
By : Dilki Shamani
Photo Source : Internet
560 Views
Comments