එග් මෆින් - Egg muffins

එක එක රසට හදන මෆින් ලොකු පොඩි කවුරුත් ආසාවෙන් රස බලනවා. වැඩිපුරම අපි පුරුදුවෙලා තියෙන්නේ රසකැවිල්ලක් විදියට හදන පැණි රසට හදපු මෆින් රස බලන්න. අද ඔන්න අපි හදන්න යන බිත්තර මෆින්ස් ලොකු පොඩි හැම දෙනාටම කන්න පුළුවන් මෆින්ස් වර්ගයක්. මේ මෆින් හදාගන්න මුලු වැඩේටම ඔයාලට විනාඩි 30ක් විතර තමයි යන්නෙ. කාලය වැඩියෙන් ඉතුරු කරගන්න කළමනා සූදානම් කරන්න කලින් අවන් එක කලින්ම රත් වෙන්න දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ මෆින්ස් හදන්නේ කොහොමද කියලා.
අවශ්‍ය දේවල්:
• බිත්තර 4
• නැවුම් එළකිරි කෝප්ප 1/2 (නැත්නම් පොල්කිරි හෝ පිටිකිරි වතුරේ දියකර යොදාගන්න)
• හැපි කව් චීස් කෑලි 2ක්
• පොඩියට කෑලි කපාගත් සොසේජස් කරල් 2ක් (ඔබට කැමති මස් වර්ගයක්, හතු හෝ ඉස්සෝ වැනි ඕනෑම දෙයක් යොදාගන්න පුළුවන්)
• පොඩියට කපාගත් තක්කාලි ගෙඩියක්
• පොඩියට කපාගත් ලූනු ගෙඩියක් හෝ ලූනු කොළ කිහිපයක්
• බටර් තේ හැන්දක්
• ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය:
මුලින්ම අවන් එක 180°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට අපි මෆින් ටික දාලා බේක් කරගෙන ඉවරවෙන කන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ.
දැන් බිත්තර ටික හොඳින් ගසා ගන්න. ඉන්පසු එයට කිරි සහ චීස් දමා හොඳින් කළවම් කරගන්න. දැන් එයට සොසේජස්, ලූනු කොළ සහ තක්කාලි එකතු කර හොඳින් කළවම් කරන්න. දැන් අපි මෆින් ට්‍රේ එක ඇරන් ඒකෙ කප් වල බටර් තවරාගෙන ඒ මෆින් කප් එකකින් බාගයක් පමණ වැසෙනසේ හදාගත්ත මෆින් මිශ්‍රණය දාගන්න ඕනෙ. දැන් මේ වෙනකකොට අවන් එක ගානට රත්වෙලා තියෙයි. දැන් අපි මෆින් මිශ්‍රණය දාලා සූදානම් කරගත්ත ට්‍රේ එක අවන් එකට දාලා විනාඩි 20ක් බේක් කරගන්න ඕනෙ.
විනාඩි 20 කින් මෆින් ටික ගානට සෙට් වෙලා බේක් වෙලා තියෙයි. ඊට පස්සෙ නිවෙන්න තියලා කෑමට ගන්න පුලුවන් ඔයාලට. කිරි රස බිත්තර ලෙස තියෙන නිසා විශේෂයෙන්ම පොඩි දරුවන්ට මෙය රසවත් ආහාරයක් වේවි. ඒ වගේම ගුනදායි එළවළු කවන්න අමාරු පුංචි අයට කෑම කවන්න පහසු ක්‍රමයක් විදියටත් මේ රසවත් එග් මෆින් පාවිච්චි කරන්න අම්මලාට හැකියාව ලැබේවි. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් රසට කෑම හදන්න නිර්මාණශීලීත්වය තිබුනොත් හරිම පහසුයි කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ රසවත් එග් මෆින් කියන්නේ.
by Dilki Shamani
Photo source : Internet
640 Views
Comments