පනීර් රයිස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පනීර් දාපු බත් එකක් හදන විදිහ. ඒ හින්දම පනීර් රයිස් කියලා තමයි කියන්නෙ මේවට. පනීර් කියන්නෙ චීස් වර්ගයක්. පනීර් ගොඩක්ම ජනප්‍රිය දකුණු ආසියානු රටවල් වල තමයි.
අවශ්‍ය දේවල්:
• බාස්මති සහල් 750g
• අඹරා ගත් කුඩා ඉඟුරු කැබැල්ලක්
• අඹරා ගත් සුදුලූණු බික් 2-3ක්
• තලා ගත් කරදමුංගු (එනසාල්) ඇට 2-3ක්
• කුරුඳු පොතු කැබැල්ලක්
• කරාබු නැටි 1-2ක්
• රම්පේ
• බටර් මේස හැදි 4-6ක් පමණ
• බත් ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට මස් තැම්බූ වතුර (Chicken Stock) හෝ චිකන් කියුබ් (Chicken Cub) දිය කර ගත් වතුර
• චොප් කර ගත් සුදු ලූණු බික් 1-2ක්
• පනීර් 500g
• කුඩා කොටු හැඩයට කපා ගත් කැරට් 200g
• පොඩියට කපා ගත් බෝංචී 150g
• කපා ගත් ලූණු කොළ 75g
• කරපිංචා
• සිහින්ව ලියා ගත් රට ලූණු ගෙඩි 1
• ලුණු (රස අනුව)
• ගම්මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
• කහ කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
සාදා ගන්නා ආකාරය:
මුලින්ම බාස්මති හාල් හොඳින් සෝදා වතුර පෙරා ගන්න. පසුව බටර් මේස හැදි 2-3ක් රයිස් කුකර් එකට දමා රයිස් කුකර් එක ක්‍රියාත්මක (on) කරන්න. බටර් ටික රත් වී දිය වී ගෙන එන විට එයට කරදමුංගු (එනසාල්) ඇට, කුරුඳු පොතු කැබැල්ල, කරාබු නැටි සහ රම්පේ එකතු කර යන්තමින් බැදෙන්න හරින්න. දැන් එයටම අඹරා ගත් ඉඟුරු හා සුදුලූණු එක් කර යන්තමින් රන්වන් පාටට බැදෙන්න දෙන්න. ඉන් පසුව එයටම සෝදා වතුර පෙරා ගත් හාල් ටික එකතු කර හොඳින් කලවම් කර විනාඩි 2-3ක් තෙම්පරාදු කර ගන්න. පසුව මස් තැම්බූ වතුර හෝ චිකන් කියුබ් දිය කර ගත් වතුර බත් ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට දමා බත පිස ගන්න. (බත බෙරි කර ගන්න එපා)
රස අනුව ලුණු ටිකක් ද එකතු කර ගන්න. බත් ඉදෙන අතර තුර ශීතකරණයේ තිබූ පනීර් ටික ගෙන කුඩා කොටු වලට කඩා ගෙන උණු වතුරට දමා විනාඩි 2-3ක් ගිල්වා තබන්න. පසුව වතුර පෙරා ගෙන පනීර් ටික කුඩා කෑලි සිටින සේ කුඩු කර ගන්න. දැන් සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් මේස හැදි 2-3ක් දමා ගන්න. බටර් රත් වී ගෙන එන විට එයට කරපිංචා, චොප් කර ගත් සුදු ලූණු සහ රට ලූණු එකතු කර ලූණු ටික යන්තමින් මෘදු වන තුරු තෙම්පරාදු කර ගන්න. එයටම කහ කුඩු ස්වල්පයක්, රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කරන්න. ඉන් පසුව එයට කැරට් ටික සහ බෝංචි ටික එකතු කර මදක් තැම්බෙන්න හරින්න. දැන් එයටම කුඩු කර ගත් පනීර් ද එකතු කර හොඳින් කලවම් කර විනාඩි 2 ක් පමණ පිස ගෙන ලිපෙන් බා ගන්න. ලිපෙන් බා ගත් පසුව එයට ලූණු කොළ එකතු කරන්න. බත් ඉදුනු පසුව සාදා ගත් පනීර් මිශ්‍රණය එයට එකතු කර හොඳින් කලවම් කර ගෙන උණුවෙන්ම රස විදින්න.
by Kaushalya De Silva
Photo source : Internet
895 Views
Comments