6 ශ්‍රේණිය සෞඛ්‍ය : සිරුර නිරෝගීව තබා ගන්නා ආකාරය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
19

6 ශ්‍රේණිය සෞඛ්‍ය : සිරුර නිරෝගීව තබා ගන්නා ආකාරය

6 ශ්‍රේණිය සෞඛ්‍ය : සිරුර නිරෝගීව තබා ගන්නා ආකාරය

දුවේ පුතේ මේ ඔයාලගේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විශය කොටසේ එන තවත් එක් වැදගත් පාඩමක්. මෙහිදී අපගේ සිරුර නිරෝගීව තබා ගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. පාසල් නිවාඩු කාලය සෙල්ලම් කරමින් පමණක් ගෙවනවාට වඩා මෙවැනි වැදගත් කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඔයාලට මනා පිටුවහලක් වේවි.

ඔබගේ සිරුර ඉතාමත් අසිරිමත් බව දූලා පුතාලා දන්නා කරුණක්. එහි ක්‍රියාකාරීත්වය ජීවිතය පවත්වාගෙන යාමට උපකාරී වේ. මේ සඳහා ශරීරය පද්ධති කිහිපයකින් සමන්විත වන අතර එම එක් එක් පද්ධතිය නියමිත වූ ක්‍රියාවක් ඉටු කරයි. ශරීරයේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට මෙම පද්ධති එකතු වී සාමූහිකව ක්‍රියා කරයි. අවට පරිසරය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට ප්‍රධාන වශයෙන් ඇස කන නාසය සහ සම යන සංවේදී ඉන්ද්‍රියයන් ක්‍රියා කරයි. මේවායින් සිදුවන ක්‍රියා හොඳින් පවත්වා ගැනීම සඳහා එම ඉන්ද්‍රියන් ඉතා හොඳින් ආරක්ෂා කරගත යුතුය. ඔබගේ පපුවේ වම් පැත්තට අත තබා හෘද ස්පන්දනය දැනෙදැයි බලන්න. දකුණු අතේ මැණික් කටුව ඉහළින් වම් අතේ ඇඟිලි තබා නාඩි වැටෙන ආකාරය බලන්න. ඉහත සඳහන් ක්‍රියාකාරකම් මගින් ශරීරයේ විවිධ අවයව ක්‍රියාකාරී වන බව ඔබට අවබෝධ වේවි. ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා සඳහා අපගේ ශරීරයේ විවිධ අවයව සහ පද්ධති දායක වේ. උදාහරණ වශයෙන් ආහාර ජීරණයට ආහාර ජීරන පද්ධතිය අවශ්‍ය වන්නා සේම ශරීරයේ අපද්‍රව්‍ය පිට කිරීමට බහිස්‍රාවී පද්ධතිය අවශ්‍ය වේ.

ක්‍රීඩා කරන අවස්ථාවේදී පිපාසය ඇති වන්නේ ඇයි. ඔබගේ ශරීරයේ කැපුමක් හෝ සීරීමක් ඇති වූ විට ටික දිනකින් කුමක් සිදුවේද. සෙම්ප්‍රතිශ්‍යාව වැනි සමහර රෝග වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව සුව වන්නේ කෙසේද. අපගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා ශරීරයේ සියලුම පද්ධති දායක වෙයි. මෙම සියලු පද්ධති මඟින් ශරීරයේ ක්‍රියාකාරීත්වය නියමිත පරිදි පවත්වා ගනී. එනම් පද්ධති මනා සහයෝගයකින් ක්‍රියා කරයි. රුධිරයේ අඩංගු ශරීරයට ශක්තිය සපයන ග්ලූකෝස් ප්‍රමාණය අඩුවූ විට අපට බඩගිනි දැනේ. ක්‍රීඩා කිරීමේදී ශරීරයේ උෂ්ණත්වය වැඩිවන අතර දහදිය වාෂ්ප වීමෙන් උෂ්ණත්වය අඩුවී එවිට ශරීරයේ ජලය අඩුවන නිසා පිපාසය ඇති වේ. ශරීරයට තම තුවාල සුව කර ගැනීමට හැකියාවක් ඇත. රෝග බෝ කරන බැක්ටීරියා සහ වෛරස් වැනි ක්ෂුද්‍ර ජීවීන්ට විරුද්දව ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තිය මගින් මෙම ශුද්‍ර ජීවීන් විනාශ කර රෝග සුවකිරීමේ හැකියාවක් මෙන්ම රෝග වැළැක්වීමේ හැකියාවක් ද ශරීරයට ඇත.

ඇවිදීම දිවීම පැනීම සහ විසි කිරීම වැනි ක්‍රියාවලින් සිදුවන්නේ කෙසේද. ඒ සඳහා ශක්තිය ලැබෙන්නේ කෙසේදැයි ඔබ සිතා බැලුවාද. ඔබ මින් පෙර පාඩමකදී නිවැරදි ඉරියව් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ඉගෙන ගෙන ඇති බව ඔබට මතක ඇති. ඇවිදීම දිවීම පැනීම විසි කිරීම වැනි ක්‍රියාකාරකම් සඳහා ශරීරය ජනනය කිරීමට අස්ථි සන්ධි සහ පේශි ආධාර වේ. අස්ථි සන්ධි මගින් එකිනෙක සම්බන්ධ වන අතර ශරීර චලනයේදී නම්‍යතාව ලැබෙන්නේ සන්ධි මගිනි. චලනය සඳහා අවශ්‍ය බලය මාංශ පේශී සංකෝචන යෙන් ලැබේ. මේ සියලු ක්‍රියාවලි සඳහා ශක්තිය අප ගන්නා ආහාර මගින් ලැබේ.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1040 Views

Comments

arrow-up