20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අවසන්

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් වලට අදාළ වාචික දේශන අද අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා

මෙම පෙත්සම් විභාගයට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා හෙට පස්වරු 3.00ට ගොනු කරන ලෙසයි අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියෝග කළේ.

ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය දින හතරක් පැවැත්වුණා.

අද දින විභාගය ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අන්තර්ගත වගන්ති සියල්ලම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බව අවධාරණය කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට බැදී සිටින බව නීතිපතිවරයා සදහන් කළා.

එම වගකීම වඩාත් පුළුල් කරමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ඉවහල් වන ශක්තිමත් නීතිමය පදනමක් සලසා දී ඇතැයි නීතිපතිවරයා පැවසුවා.

19 වන සංශෝධනය පනත තුළින් අහිමි කෙරුනු ජනාධිපතිවරයා සතු මුක්තිය වත්මන් 20 වන සංශෝධන කෙටුම්පත තුළින් යළි ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා මේ තුළින් ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන විධායක බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි සදහන් කළා.

සමස්තයක් වශයෙන් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති කිසිවක් අනුමත කරගැනීමට ජනමත විචාරණයක් සදහා යොමු කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි මෙහිදී නීතිපතිවරයා අවධානය කළේ.
අවසන් වශයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ අවධාරණය කර සිටියේ මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයක් තොරව පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.

 

views

794 Views

Comments

arrow-up