රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
06

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

2016 මාර්තු මාසයේදී පැවති ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසි දෙකකට අදාළව එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද(06) වරෙන්තු නිකුත් කළේය.

 

 

ඒ නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

 

 

2016 මාර්තු 29 වනදා සහ මාර්තු 31 වනදා පැවති බැඳුම්කර වෙන්දේසිවලදී පොදු දේපල සාපරාධි පරිහරණය, තමාට වාසිදායක වන පරිදි වෙළඳපොල හසුරුවීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනාවලට අදාළව සැකකරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නේය.

 

 

එහි සැකකරුවන් ලෙස පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම,හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක,පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු 12 දෙනෙක් නම්කර තිබුණි.

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය බදාදා සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ඉල්ලා සිටි අතර ඊට අදාළ නියොගය අද ප්‍රකාශයට පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කළේය.

 

 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර එහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසුවේ සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තමාට පැහැදිළි කරගැනීම් සිදුකරගැනීමට අවශ්‍ය වන බවයි.

 

 

විමර්ශනයේ 6 වන 7 වන සහ 8 වන සැකකරුවන් වන පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ 10 වන සැකකරු ලෙස නම් කර සිටින බුද්ධික සරත්චන්ද්‍ර මහතා සම්බන්ධයෙන් අනාවරණ වන කරුණු සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීමට පෙර තමාට පැහැදිළි කරගැනීමක් සිදුකරගැනීමට ඇති බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසුවේ විමර්ශනයේ දෙවන සැකකාර එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක, තුන්වන සහ සිව්වන සැකකරුවන් වන අර්ජුන ඇලෝෂියස් සහ කසුන් පළිසේන යන අය සම්බන්ධයෙන් අනාවරණ වන කරුණු පිළිබඳ තමා සෑහිමකට පත්වන බවයි.

 

 

ඒ අනුව තමාට පැහැදිළි කරගැනීමට අදාළ කරුණුවලට අනුව සකස් කළ ප්‍රශ්නාවලියක් මහේස්ත්‍රාත්වරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියට භාරදුන් අතර එම ප්‍රශ්නාවලියට අදාළ පැහැදිළි කීරීම් පස්වරු 2.30 ට ලිඛිතව අධිකරණයට භාරදෙන බව ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේය.

 

 

ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් වරෙන්තු ලබාදෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා මෙම නීතී කෘත්‍ය යළි අද පස්වරුවේ කැඳවනු ලැබුවේය.

 

 

එහිදී  සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසුවේ එවකට මුදල් ඇමති රවී කරුණානායක මහතා  2016 මාර්තු 28 සහ මාර්තු 30වන දිනවල රාජ්‍ය බැංකු තුනකට බැඳුම්කර වෙන්දේසියේදී ලංසු තැබිය යුතු ඵලදායිතා අනුපාතය සම්බන්ධයෙන් සීමා පනවා ඇති බවට කරුණු හෙළිවන බවයි.

 

 

එළෙස සීමා ඉදිරිපත් කිරීම තුලින් රවී කරුණානායක විසින් පළමු සැකකාර පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමට අයුතු ලාභයක් අත්කරදී ඇති බවත් එම අයුතු ලාභයේ කොටස් ලෙස කොළඹ ග්‍රැන්ඩ් මොනාර්ක් නමින් නිවසක් ලැබුණු බවට අධිකරණය හමුවේ පවතින කරුණු අනුව නිගමනය කළ හැකි බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් පෙන්වා දුන්නේය.

 

 

ඒ අනුව එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවේය.

 

 

එම සැකකරුවන් අතරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේනද අයත්ය.

 

 

කෙසේවෙතත් විමර්ශනයේ 10 වන සැකකාර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධික සරත්චන්ද්‍ර නැමැත්තා අනෙකුත් සැකකරුවන් සමග සබඳතා පැවති බවට කරුණු හෙළි නොවන බැවින් ඔහු සම්බන්ධයෙන් වරෙන්තු හෝ සිතාසි නිකුත් නොකරන බවද මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නියෝගයෙන් සඳහන් කළේය.

 

 

පර්පෙචුඅල් ආයතනය නෛතික ආයතනයක් වනනිසා එම ආයතනයට අදාළව සිතාසි නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන්ය.

views

826 Views

Comments

arrow-up