ජන්දයෙන් කොටි 18ක් තැපැල් දෙපාර්තමේන්තුවට අලාභයි

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මෙරට සියළු ඡන්දදායකයන් සඳහා තැපැල් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක් සිදුවන බව වාර්තා වනවා.
එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණ පනත සහ තැපැල් පනතේ ප්‍රතිපාදන අනුව මැතිවරණ අවස්ථාවලදී සියළු ඡන්දදායකයන් සඳහා අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තැපැල් කිරීමට සිදුවන බවයි.
කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 ක් ඉදිරිපත්වීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට පෙර වසරවලට සාපේක්ෂව වැඩි පිරිවැයක් දැරීමට මෙවර සිදුවනවා.
ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 4,000 ක මුදලක් ලබාදී තිබෙනවා.
මේ අතර නිල ඡන්ද පත්‍රිකා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීම අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ලබන මස 9 වනදා දක්වා නිල ඡන්ද පත්‍රිකා ගෙන් ගෙට බෙදාහැරීම සිදුකරන අතර, විශේෂ දිනයක් ලෙස ලබන මස 3 වනදා ක්‍රියාත්මකයි.
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපැල්කරුවන් සහ ආදේශකයින් 9,000 ක් පමණ සේවයේ යොදවා තිබෙනවා. අදාළ කාලය තුළ ඡන්ද කාඞ්පත් නොලැබුණු ඡන්දදායකයින්ට තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගත හැකියි.
මෙයට අමතරව ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කර මෙතෙක් ඒවා නොලැබුණු ඡන්ද දායකයින් ලක්ෂ 3 කට පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තාවකාලික අවසර පත්‍රයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ දැනට හැඳුනුම්පත් ඉල්ලුම් කර ඇති පුද්ගලයින් පදිංචි වසම්වල ග්‍රාම නිලධාරීන්ද සම්බන්ධ කරගනිමින් මෙම අවසර පත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
අදාළ අවසර පත්‍රය නිකුත් කෙරෙන්නේ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පමණක් බවයි ඔහු කියා සිටියේ. ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කර ඇති පිරිසට ඒවා නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නොහැකිවී ඇත්තේ හැඳුනුම්පත් නිකුත් යොදාගන්නා පත්‍රිකාවල පවතින හිඟයක් නිසා බවට පසුගියදා වාර්තාවුණා.
679 Views
Comments