අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් - අමාත්‍යංශ 3ක් එකතු කරන්න යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් - අමාත්‍යංශ 3ක් එකතු කරන්න යයි

අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් - අමාත්‍යංශ 3ක් එකතු කරන්න යයි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී ජනාධිපිතිවරයා දැනුවත් කිරීමට පිරිස කටයුතු කළහ.

 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා” යන්න තේමා කර ගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙමින් පවතී. ගනු ලබන තීරණ රටටත්, අනාගත පරපුරටත් බලපාන නිසා සැමට එකඟවිය හැකි ආකාරයෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම ඉතා වැදගත් වේ.
පෙර පාසලේ සිට ප්‍රාථමික, ද්විතීයීක, උසස් සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා ආවරණය කෙරෙන පරිදි සියලු නිර්දේශ ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබද අවසන් වාර්තා අනුමත කිරීමට පෙර අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් හෝ පුළුල් සමාජ සංවාදයට යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

 

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සියලු යෝජනා ජනතාව අතට පත් කොට ඊට ලැබෙන අදහස් සහ යොජනා ද ඇතුළත් කර ගනිමින් අවසන් වාර්තාව සකස් විය යුතුය.

 

කොවිඩ් මර්දනය සඳහා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමුණද Online අධ්‍යාපනය ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කාර්ය සාධක බලකාය පෙන්වා දුන්නේය. ආරම්භයේදී යම් දුෂ්කරතා මතුවුවද මේ වන විට තාක්ෂණික ගැටලුද මගහරවා ගැනීමට හැකිව තිබේ. පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ද ඉහළ ප්‍රතිශතයක් Online අධ්‍යාපනයට යොමු වීමෙන් මේ ක්‍රමය ඉදිරියේදී තවත් දියුණු කිරීමේ හැකියාව පෙන්වා ඇත. මේ දත්ත පදනම් කොට ගෙන Online උසස් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 

ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව වැනි ගුරු පුරප්පාඩු පවතින විෂයයන් Online මගින් ආවරණය කිරීමට සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

 

 

දිවයිනේ විශ්ව විද්‍යාල සියල්ල ඉතා වේගවත්ව Online ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් අභිබවා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

 

Online අධ්‍යාපන ක්‍රමයට කලා පීඨ සිසුන්ගෙන් අපේක්ෂා නොකළ තරමේ ඉහළ දායකත්වයක් ලැබී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය. එය කලා විෂයයන් හදාරණ සිසුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීමට අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමක් බව විශ්ව විද්‍යාල උපකුලපතිවරු පෙන්වා දුන්හ.


අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරෙන කාලය සහ සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින කාලය වසර දෙකකට අධික වේ. ඉන් ප්‍රයෝජන ගෙන ඉංග්‍රීසි භාෂා සහ පරිගණක තාක්ෂණ දැනුම රටේ සියලු දරුවන්ට ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීනට පවසා ඇත.

 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු යන අමාත්‍යාංශ තුනම එක අමාත්‍යාංශයක් යටතට ගැනීමේ යෝගත්‍යාව පිළිබඳ ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායේ අදහස වීමසා සිටි අතර එය වඩා සුදුසු බව ඇතැම් විද්වතුන්ගේ අදහස විය. බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්. චිත්‍රානන්ද, යන මහත්වරු සහ කාර්ය සාධක බලකායේ නියෝජිතයෝ, උපකුලපතිවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

views

1625 Views

Comments

arrow-up