ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර - ඉස්ලාම් සිකුරාදා දේවමෙහෙයන් තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
12

ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර - ඉස්ලාම් සිකුරාදා දේවමෙහෙයන් තහනම්

ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර - ඉස්ලාම් සිකුරාදා දේවමෙහෙයන් තහනම්

මාස 03 කට ආසන්න කාලයක් තහනම් කර තිබූ ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද (12) සිට ආරම්භ කෙරෙනවා. කොරෝනා වසංගතයත් සමග ආගමික ස්ථාන සඳහා පුද්ගල ඒකරාශීවීම් තාවකාලිකව තහනම් කිරීමට රජය ඉකුත් දා පියවර ගත්තා.

 


රට තුළ කොරෝනා වසංගත තත්ත්වය ක‍්‍රමයෙන් පාලනයවීමත් සමග ආගමික ස්ථාන සහ උපකාරක පන්ති සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආරම්භ කිරීමට තීරණය කළ බවයි රජය ඉකුත් දා නිවේදනය කළේ. 
ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් සීමාකරමින් ආගමික ස්ථානවල ආගමික කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. එලෙස ආගමික ස්ථානවල ආගමික කටයුතු අද සිට ආරම්භ කෙරුණ ද, සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල දුරස්ථභාවය රැකගැනීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ.

 

 

 

මේ අතර කතෝලික දේවස්ථානවල දේවමෙහෙයන් සිදුකෙරෙන ආකාරයන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්.

 


කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉස්ලාම් දේවස්ථානවල පස්වේලේ ඉමාම් ජමාත්, ජුම්මා සලාතය, නිකා මජරිස් ඇතුළු සිකුරාදා පැවැත්වෙන සාමූහික දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම් බවයි. 

 

 

ශී‍්‍ර ලංකා වකුෆ් සභාවේ නියමයන්ට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පනවා ඇති සෞඛ්‍ය සීමා සෞඛ්‍ය අංශ විසින් ලිහිල් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වකූෆ් සභාව විසින් මාර්ගෝපදේශයක් නිකුත් කරන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

 


සියලූම ඉස්ලාම් දේවස්ථාන ආගමික කටයුතු සඳහා විවෘත කිරීමට පෙර එහි භාරකරුවන් අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් ලිඛිත අවසරයක් ලබාගැනීම ද අනිවාර්යය කර තිබෙනවා. 

 


මේ අතර හින්දු කෝවිල්වල ආගමික කටයුතු ද සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් අනුව අද සිට සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආරම්භ කෙරෙන බවයි ජාතික හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍රන් කුරුක්කල් බාබුශර්මා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

views

839 Views

Comments

arrow-up