විදෙස් බුද්ධි සේවයක් මුලින්ම දුන් බුද්ධි තොරතුර භයානකයි! - පාස්කු කොමිසමේ හෙළිදරව්වක්

සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට විදෙස් බුද්ධි සේවයක් තමන්ට තොරතුරු ලබාදෙන විටත් එම පිරිසට ප්‍රහාරයක් එල්ල කිරීමේ භෞතික හා මානසික හැකියාව තිබූ බව තමන් දැන සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ හෙළි කළා.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවේදී අද සාක්ෂි ලබාදෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
පාස්කු ඉරිදා දිනයේදී ප්‍රහාර මාලාවක් එල්ල වන බවට විදෙස් බුද්ධි අංශයකින් මුල්වරට බුද්ධි තොරතුරු ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 11 වන දිනටත් කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි විමසීම ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරිය සඳහන් කළේ විදෙස් බුද්ධි අංශයන් මඟින් ප්‍රහාරය පිළිබඳව ලද තොරතුරුවලට අදාළ පුද්ගලයින් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයට ඒ වන විටත් වාර්තා වී තිබුණේද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම තොරතුරේ සඳහන් සහරාන් හෂීම් සහ රිල්වාන් පිළිබඳ තොරතුරු තමන් සතුව තිබූ බවයි.
එමෙන්ම ෂාහිඞ් සහ මාවනැල්ලේ බුදුපිළිම කැඩූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ සතුව තිබූ බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. නමුත් අල්කුයිතාල් සහ සාජිඞ් මව්ලවි පිළිබඳව තොරතුරු තමන් දැන නොසිටි බව ඔහු මෙහිදී සඳහන් කළා. මෙම සිදුවීම වෙනුවෙන් ඔබ නිලධාරීන් මෙහෙය වූයේ කෙසේදැයි කොමිසම නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර සිටියා. මෙම තොරතුරු ලැබෙන විටත් මාවනැල්ල ප්‍රහාරයෙන් පසුව විදෙස් රටක සිට සහරාන්ගේ තාක්ෂණික උපකරණ භාවිත වන බව බුද්ධි අංශ දැනසිටි බව ඔහු මෙහිදී කියා සිටියා. ඒ පිළිබඳව තමන් ඇතුඵ කණ්ඩායම නිසි අවධානයෙන් කටයුතු කළද අදාළ අංශවලින් ඒ සම්බන්ධ වාර්තා හමු නොවූ බවයි ඔහු කොමිසමට පෙන්වා දුන්නේ. යුද හමුදා බුද්ධි අංශ සතුව සහරාන් ලංකාවෙන් පිටතට ගිය බවට තොරතුරු තිබූ බව නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළා. මෙහිදී කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස ඔබ එය විශ්වාස කළාද යන්නයි. එය පිළිගැනීමට ඔබට තොරතුරක් නොතිබුණු බවත් පසුව මාර්තු 23 වනදා ඒ පිළිබඳ යුද හමුදා වාර්තාවක් ලැබුණු බවත් ඔහු මෙහිදී කියා සිටියා.
එම වාර්තාවේ එක් තැනක සහරාන් ලංකාවේ නැති බව සඳහන් වී තිබුණත් තවත් තැනක පැහැදිලිවම සහරාන් ලංකාවේ සිටින බව සඳහන් කර තිබූ බවයි නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියේ. ඊට පිළිතුරු ලබාදෙමින් කොමිසමේ සාමාජිකයෙකු විමසා සිටියේ ඔබ මීට පෙර සාක්ෂි ලබාදෙන අවස්ථාවන්හි සඳහන් කළේ සහරාන් විදෙස්ගත නොවූ බවයි. නමුත් මෙම සාක්ෂියෙන් ඔබ කියන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි ඔහු බුද්ධි අංශ ප්‍රධානියාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මීට පෙර මා ලබා දුන් සාක්ෂිවල කියා සිටියේ ජනවාරි මාසය තුළ තමාට ලැබී තිබූ තොරතුරුවල අඩංගු කරුණු බවයි. නමුත් මෙම වාර්තාව තමාට ලැබුණේ මාර්තු මාසයේ බවද ඔහු කොමිසමට කියා සිටියා.
1483 Views
Comments