පක්ෂයට අත්වූ ඉරණමට මාත් වගකිව යුතුයි

හිටපු අග්‍රාමාත්‍යවරුන් වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් ගොඩනගන ලද සහ සිරිමාවෝ බණ්ඩාරනායක පසුකාලීනව ශක්තිමත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ අත්ව ඇති ඉරණම පිළිබඳව කනගාටු වන බව හිටපු ජනපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය.
2015 වසරේ බලයට පැමිණි පුද්ගලයා විසින් දුර්වල කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තරුණ පරපුරක් නිර්මාණය කිරීමට තමන් ඉදිරියටත් කැපවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂයක් සම්පූර්ණයෙන්ම විනාශ කළ නොහැකි බවත් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ ඊයේ (02 වැනිදා)ට යෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
එමෙන්ම වසර ගණනාවක් දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටි තමන් 2015දී මාදුළුවාවේ සෝභිත හිමි මෙන්ම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ගනණාවකගේ ඉල්ලීම් මත තමන් නැවත දේශපාලනයට පැමිණියේ ඒ වන විට රටට සහ පක්ෂයට සිදුවෙමින් තිබූ විනාශය වළක්වා ගැනීමට බවද පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේද පැවසුවාය.
‘‘වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවෙලා තියෙන දේට මමත් වගකියන්න ඕනෙ කියලා හිතෙනවා. ඒ මම කරපු දේවල් නිසා නෙවෙයි, මම නොකරපු දේවල් නිසා. වසර 17ක් තිස්සේ පැරදුණ පක්ෂය මම ශක්තිමත් කරලා බලයට ගෙනාවා. ඒ වැඩපිළිවෙළ නිසාත්, බලයේ ඉන්න කාලය තුළ අපි කටයුතු කළ ආකාරය නිසාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 23ක් අඛණ්ඩව බලයේ ඉන්න හැකි වුණා.
වර්තමානයේ බොහෝ අය කියනවා මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණා කියලා. නමුත් අපි 2015දී සිවිල් සංවිධාන සහ තවත් ද්‍රවිඩ මුස්ලිම් පක්ෂ ගණනාවක් එක්ක එකතු වෙලා දැවැන්ත සංධානයක් ගොඩනැගුවා. ඒ සන්ධානයට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකම හිටියා. එක නායකයෙක් මගේ ජීවිතය පවා අවධානමක දැම්මා.
ප්‍රභාකරන් මාව ඝාතනය කරනවා කියලා අනතුරු අඟවලා තියෙද්දී මගේ ආරක්ෂාව පැය 24න් ඉවත් කළා. ඒ සියලු දේ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න පුළුවන් ජීවතුන් අතර සිටි බණ්ඩාරනායක පවුලේ එකම කෙනා මම නිසා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කරගත් විවිධ අපරාධකරුවන් නිසා පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති විනාශ වුණා’’
781 Views
Comments