රෝයල් පාර්ක් වරදකරුට ජනපති සමාවෙන් නිදහස
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

රෝයල් පාර්ක් වරදකරුට ජනපති සමාවෙන් නිදහස

රෝයල් පාර්ක් වරදකරුට ජනපති සමාවෙන් නිදහස

රට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාර්ක්හි ඉවෝන් ජොන්සන් තරුණිය අමානුෂිකව ඝාතනය කිරීමේ සිදුවීමට මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබාදීමෙන් පසුව ඔහු බන්ධනාගාරයෙන් පිටවගොස් තිබෙනවා.

 

2005 වසරේදී රෝයල් පාර්ක් නිවාස සංකීරණයේදී ස්විඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති 19 හැවිරිදි තරුණිය අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ එම සිදුවීමෙන් වසර 14ට පසුව මෙලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇත.

 

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය හිමි වනවිට ජූඩ් නැමැත්තා 19 වැනි වියේ පසු වූ අතර නිදහස ලබන විට ඔහුගේ වයස අවුරුදු 33කි.


මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව 2012 වසරේදී කොළඹ මහධිකරණය හමුවේ විභාග වූ අතර, එහිදී ජූඩ් ශ්‍රමන්ත මෙම අපරාධය සම්බන්ධයෙන් වැරදිකරු කරමින් වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණා.

 

පසුව ඔහුගේ දඬුවම ඉවත් කරන ලෙස ඔහුගේ පාර්ශ්වයෙන් අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එයට විරුද්ධ වෙමින් එම දඬුවම වැඩි කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයාද අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත්කර තිබිණා.

 

එම අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව වසර 12ක සිරදඬුවම වෙනුවට විත්තිකරුට මරණ දඬුවම පමුණුවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
අභියාචනාධිකරණය විසින් විත්තිකරුවෙකුට මරණීය දණ්ඩනය නියම කළ ප්‍රථම වතාව මෙය වනවා.

 

ජූඩ් ශ්‍රමන්ත ජයමහ නිදහස් කරන ලෙස දන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදීමේ ලිපිලේඛන පසුගිය සිකුරාදා (08දා) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබුණු අතර, සෙනසුරාදා දිනයේදී (09දා) ඔහුව නිදහස් කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබිණි.
ජනාධිපති සමාව ලබාදෙන විට ජුඩ් ශ්‍රමන්ත ජයමහ කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටියා.

views

726 Views

Comments

arrow-up