ඡන්දෙ කරන්න මැතිවරණ කොමිසම කෝටි 750 ක් ඉල්ලයි

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 550 ක් ඇස්තමේන්තු කර තිබුණද වියදම රුපියල් කෝටි 750 ක් දක්වා ඉහළ යා හැකි බව මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙනවා. මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි කොමිසම පෙන්වා දෙන්නේ.
අපේක්ෂකයන් වැඩිවීම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීමට ද සිදුවන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා. මෙම තත්ත්වය පසුගිය ජනාධිපතිවරණයේදීද මතු වූ අතර ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත් වීම නිසා විශාල අමතර පිරිවැයක් දැරීමට මැතිවරණ කොමිසමට සිදුවිය.
මේ වනවිටත් ජනාධිපතිවරණයේ වියදම් පියවා අවසන් වී නොමැති අතර මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇත්තේ ඒ සඳහා වන හිඟ මුදල් රුපියල් මිලියන 1200 ක් ලබාදීමට කටයුතු කරන ලෙසය.
මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් ලක්ෂ 03 කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට සිදුවනු ඇති බව ද ගණන් බලා තිබේ. පසුගිය ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය සේවකයන් 280,000 ක් පමණ මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබිණි.
මෙවර මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පැවැත්වීමට නියමිත අතර පසුගිය 2018 ඡන්ද හිමි නාමලේඛනය හා සැසඳීමේදී නව ඡන්දදායකයන් 270,000 කට ඡන්ද අයිතිය හිමිව තිබේ.
661 Views
Comments