රජයේ අතුරු සම්මත ගිණුම අද විවාදයට..

සැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති, අතුරු සම්මත ගිණුම අද (27) සහ හෙට (28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.
එමෙන්ම දේශීය භාණ්ඩාගාර බිල්පත් අඥා පනතේ 2 (1) වගන්තියට අනුව රුපියල් බිලියන 750 කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහා වන යෝජනාව ද විවාදයට ගැනෙනු ඇත.
පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට මේ වන විට කටයුතු කර තිබේ.
මෙයට අමතරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පත්කිරීම සඳහා වන යෝජනාව ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරේ. ඒ අනුව එම කාරක සභාවට අදාළ සමාජිකයන්ගේ නම් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
එමෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංයුතිය අනුමත කිරීම ද අද සිදු කෙරේ.
පාර්ලිමේන්තුව අද සහ හෙට පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා රැස්වන අතර, එම දින දෙක තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමට පසුගියදා රැස්වු පක්ෂ නායක හමුවේදී තීරණය කෙරිණ.
824 Views
Comments