පොහොට්ටුව-ශ්‍රීලනිපය අතර ගිවිසුම් 03කට අත්සන් තැබීම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද කොළඹ 07 ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතයි.
ඉදිරි ජනාධිපතිවරණයට අදාලව පක්ෂ දෙක අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබෙනු ඇති. අද අත්සන් තැබෙන ගිවිසුමට අමතරව ඉදිරි දින කිහිපයේදී දෙපාර්ශ්වය තවත් ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.
"ප්‍රධාන වශයෙන් කරුණු 03ක් සිද්ධ වෙනවා. එකක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවෙන අවබෝධතා ගිවිසුම. 15 වැනිදා ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුම. තුන්වැනි කාරණය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ඇති කරගන්නා නව සන්ධානය. පක්ෂ දෙකේ සියලු දේශපාලන බලවේග එය තුළ සිටිනවා."
ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ගොඩනැගෙන නව සන්ධානයේ සම නායකත්වය දෙපාර්ශ්වයටම හිමිවන අතර මහ ලේකම් ධූරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන බවයි ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරන්නේ.
753 Views
Comments