රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (19) ඇරඹිණ.

ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි.

පත්වීම් ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලැබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන භාරව සිටී. පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීනට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ. පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ගෙවනු ලැබේ.

රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබූවකි. එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විසමතා හැකිතරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ඉන් අපේක්ෂා කෙරේ.

වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි මස 20 වැනිදා ඇරඹිණ.භාෂා 03ම පළ කළ පුවත්පත් දැන්වීම් මගින් සුදුස්සන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබීය. සියලු අයැදුම්පත් තම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරී වෙත යොමු කරන ලෙස දැනුම් දෙන ලදී. එසේ ලැබුණු අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගෙන්වා ඉල්ලුම්කරුවන් සම්මුඛ පරික්ෂණයකට භාජන කොට අභ්‍යාසලාභීහූ තෝරාගනු ලැබූහ. තෝරාගත් කිසිවෙකු හෝ රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයෝ වෙති.

හය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන් PL-01 ශ්‍රේණියේ ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කරනු ලැබේ. බඳවාගනු ලබන පිරිස් රජයේ ගොවිපොළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගි කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදන කටයුතුවලට මෙන්ම වන ජීවි හා වන සංරක්ෂණ, වාරිමාර්ග ගොවිජන සේවා, කෘෂි සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහා ද යොදවනු ඇත.

 

views

906 Views

Comments

arrow-up