ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට අවශ්‍ය සියලුම අවිආයුධ රුසියාවෙන් දෙන්න එකඟතාව

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට අවශ්‍ය සියලුම අවිආයුධ නොකඩවා ලබා දීමට රුසියාව එකඟතාව පළ කළා. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට රුසියාවේ සංචාරයකට ද ආරාධනා කෙරුණා.
දිවයිනට පැමිණි රුසියා විදේශ අමාත්‍යවරයා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි මේ බව ප්‍රකාශ කළේ. රුසියා නියෝජිතයන් හතළිස් දෙදෙනෙකු සමග ඒ මහතා මෙරට සංචාරයට එක්ව සිටිනවා.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.
ඉන් අනතුරුව දෙරටේම නියෝජිතයන් හා එක්ව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. ශ්‍රී ලංකාවත් රුසියාවත් අතර ආරක්‍ෂක, දේශපාලන, වෙළෙඳ, විද්‍යා හා තාක්‍ෂණ ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ද දෙස් විදෙස් නියෝජිතයන් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වුණේ ඉන් අනතුරුවයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියේ ශ්‍රී ලංකාවත් රුසියාවත් අතර මිත්‍රත්වය දශක ගණනාවක් පැරණි මෙන්ම ශක්තිමත් වූවක් බවයි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන: “රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නායකත්වය යටතේ දෙරට නව මිත්‍රශීලී මුහුණුවරක් ගෙන තිබෙනවා. රුසියා දේශපාලනයෙන් හා සාහිත්‍යයෙන් මෙරට සාහිත්‍යය හා දේශපාලනය පෝෂණය වුණා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවට සහාය ලබා දීම සම්බන්ධයෙන් අප රුසියාවට ස්තූතිවන්ත වෙනවා. දෙරටම මනා අවබෝධයකින් කටයුතු කරනවා. අද පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාව ද ඉතාමත් ඵලදායී බව සඳහන් කළ යුතුයි.”
විශ්වාසය මත පදනම් වූ සමීප මෙන්ම දීර්ඝ මිත්‍රත්වයක් දෙරට අතර පවතින බවයි රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා අදහස් දක්වමින් කියාසිටියේ.
රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් : “ශ්‍රී ලංකාවත් රුසියාවත් ඉතාමත් සමීපව කටයුතු කරනවා. විශේෂයෙන් නීති බලාත්මක කිරීම හා දෙරටේ ආරක්‍ෂක අමාත්‍යංශ, ඉතාමත් සමීපව කටයුතු කරනවා. අපි ශ්‍රී ලංකා හමුදාවන්ට මෙරට ආරක්‍ෂාව සඳහා අවශ්‍ය වන සියලුම අවි ආයුධ නොකඩවා ලබා දීමට සූදානම්. ශ්‍රී ලංකාව ජගත් සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානවලදී රුසියාව ඉදිරිපත් කරන යෝජනාවලට සිය සහාය දැක්වීම සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මෙරට යථා තත්ත්වයට ගෙන ඒමට ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අපි සහයෝගය ලබා දෙනවා. එමෙන්ම ජනාධිපතිතුමාට රුසියාවේ සංචාරයක නිරත වන ලෙසටත් ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”
මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වෑන්ග් යි මහතා ද විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
6437 Views
Comments