"සී හැඩයේ ආර්ථික කොරිඩෝ" නවයක් හදන බව ජනපති පවසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
24

"සී හැඩයේ ආර්ථික කොරිඩෝ" නවයක් හදන බව ජනපති පවසයි

"සී හැඩයේ ආර්ථික කොරිඩෝ" නවයක් හදන බව ජනපති පවසයි

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ  සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් (23) ජනතා අයිතියට පත් කෙරිණ.

 

ගොඩගම පාලටුව  අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිස පාලටුව සිට දක්ෂිණ අධිවේගය ඔස්සේ බරවාකුඹුක දක්වා ගමන් කළහ.

 

එහිදී පසු කෙරුණු සියලු  පිවිසුම් මාර්ග අසළ රැදී සිටි ජනතාවගෙන්  උණුසුම්  ප්‍රතිචාරයක් පළ විය. විවෘත කෙරුණු පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටසේ දිග කි.මි 58ක් වන අතර   වැය වූ මුදල රුපියල් බිලියන 169කි.

 

පාලටුව සිට හම්බන්තොට දක්වා දුර කි.මි 96 කි.  අදියර 04 ක් යටතේ  මාතර- බෙලිඅත්ත , බෙලිඅත්ත – බරවකුඹුක,  බරවකුඹුක – අන්දරවැව හා  අන්දරවැව – මත්තල කොටස් ඉදිකෙරිණ. ඊට වැය වූ මුදල රුපියල් බිලියන 225කි.

 

කොළඹ සිට කි.මි 222 ක් වන  මෙරට ඉදිකෙරුණු  දීර්ඝම අධිවේගී මාර්ගය මෙයයි.  නව කොටස රථ වාහන ධාවනයට එක්වීමෙන් කොළඹ සිට කතරගමට පැය තුන හමාරකදී ළගා විය හැකිය.

 

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දැනට භාවිත මාතර ගොඩගම පිවිසුම මින් ඉදිරියට භාවිත නොකෙරෙන අතර පාලටුව නව පිවිසුම ඊට එක් වෙයි. මාතර සිට හම්බන්තොට දක්වා කොටස අපරැක්ක, බෙලිඅත්ත, කසාගල, අගුණු කොළ පැලැස්ස, බරවාකුඹුක සහ සූරියවැව යන අන්තර් හුවමාරු 06 කින් සමන්විත වේ.

 

බරවකුඹුක පිටවීම ස්ථානයේ පැවති ප්‍රධාන ජන හමුව අමතමින් පසුගිය ආණ්ඩුව අත්හැර දැමූ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය යළි ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. අධිවේගි මාර්ග ඉදිකරනවා මෙන්ම ඒවායෙහි නිදහසේ ගමන් කළ හැකි අයුරින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 

කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපොළ කේන්ද්‍රකරගෙන වාණිජ හා මූලය කේන්ද්‍රස්ථානයක් ගොඩනගනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින්  අන්තර්ජාතික කාර්මික හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් ගොඩනැගීමට ද සැලසුම් කර තිබේ. ත්‍රිකුණාමලය, කංකසන්තුරේ වරායන් කේන්ද්‍ර කරගෙන සී හැඩය ගන්නා ආර්ථික කොරිඩෝ නවයක් ගොඩනැගිමට රජය ක්‍රියා කරන බව ද මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

 

මේ සියල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ සඳහන් කර තිබෙන බව එතුමා කියා සිටියේය.

 

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු අමාත්‍යවරු, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, රාජ්‍ය නිලධාරිහූ ඇතුළු  විශාල පිරිසක් මේ අවස්ථාවට  එක්ව සිටියහ.

 

විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමට පෙර ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මාතර, පාලටුව බෞද්ධෝදය මහා විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. විහාරාධිපති පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමි ඇතුළු විහාරස්ථානය වෙත වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

 

මොහාන් කරුණාරත්න - නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

views

654 Views

Comments

arrow-up