සහරාන් බෝම්බ හදන්න ඉගෙන ගෙන ඇත්තේ පොලිස් වීඩියෝවකින් !

සහරාන් හෂීම් බෝම්බ නිෂ්පාදනය කිරීමට ඉගෙන ගත්තේ මෙරට මාධ්‍ය තුළින් විකාශය කළ බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබද පොලිස් නිලධාරියෙකුගේ පැහැදිලි කිරීමක් නැරඹීමෙන් බව අප්‍රේල් විසි එක පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හමුවේ අද (18) හෙළිදරව් වුණා. ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සිටින පුද්ගලයෙකු ගෙන් සාක්ෂි ලබාගැනීමේදීයි.
ඔහු පිළිබදව කිසිදු තොරතුරක් කොමිෂන් සභාව මාධ්‍යයට ලබාදුන්නේ නැහැ.
2015 අංක 4 දරණ අපරාධ වින්ධිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අදාළ සැකකරුගේ පෞද්ගලික තොරතුරු හෙළි නොවන ආකාරයෙන් මෙම සාක්ෂි විමසීම පිළිබද වාර්තා කරන ලෙස කොමිෂන් සභාව සාක්ෂි විමසීම ආරම්භයේදීම මාධ්‍යයෙන් ඉල්ලා සිටියා. සාක්ෂිකරුගේ ආරක්ෂාව සහ පරීක්ෂණ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ අරමුණෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි කොමිෂන් සභාව සදහන් කළේ. මින් පෙර සාක්ෂි ලබාගත් අවස්ථාවලදී සාක්ෂිකරු අදාළ ස්ථානයේ සිටිය ද අද දිනයේ මෙම සාක්ෂිකරු වෙනත් ස්ථානයක රදවා එහි සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොමිෂන් සභාවේ පංච පුද්ගල කමිටුව හා සම්බන්ධ කරමින් සාක්ෂි ලබාගැනීම සිදුකළා.
සාක්ෂි විමසීම ආරම්භ කරමින් කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තමන් පාසල් යන කාලයේදී හෝ යම් ආගමික සංවිධානයක් සමග කටයුතු කළාද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙමින් තමන් ශ්‍රී ලංකා ඉස්ලාමික් ස්ටුඩන්ට්ස් සංවිධානයේ කටයුතු කළ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. එසේම 2012 වසරේ දී ජමාතෙයි ඉස්ලාමික් සංවිධානයේ සබරගමු පළාත් සම්බන්ධීකාරක වශයෙන් ද 2013 වසරේ සිට එම සංවිධානයේ ජාතික සංවිධායක වශයෙන් ද කටයුතු කළ බව ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියාසිටියා.
ඉන් අනතුරුව කොමිෂන් සභාව ඔහුගෙන් විමසා සිටියේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැලකෙන සහරාන් හෂීම් නමැත්තා ඔබට මුලින්ම හමුවූයේ කුමන අවස්ථාවේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී ගැටුමෙන් අනතුරුව සහරාන් හෂීම් මුල්වරට තමන්ට හමුවූ බවයි. පසුව කොමිෂන් සභාව සාක්ෂිකරු යම් ආගමික සංවිධානයක් මාර්ගයෙන් විදෙස් රටක යම් පුහුණුවක් ලබා ඇත්දැයි විමසා සිටියා. තමන් තුර්කිය හරහා සිරියාවට ගොස් කලක් කටයුතු කළ බවට ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළා.
ඒ කෙසේ ද යන්න කොමිසම විමසා සිටි අතර පිළිතුරු ලබාදුන් සාක්ෂිකරු සදහන් කළේ තමන් තුර්කිය හරහා සිරියාවට ගිය ආකාරයත් එහිදී කටයුතු කළ ආකාරයත් පිළිබදව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ නොහැකි බවයි. තමන්ට ඒ පිළිබදව ප්‍රකාශ කිරීමට හැකියාව ඇත්තේ මාධ්‍ය ඉවත්වීමෙන් පසුව බවට ඔහු කොමිසමට දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ සැකකරුට කොමිසම හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීම සදහා එම ස්ථානයෙන් මාධ්‍ය ඉවත් කිරීමට කොමිසම කටයුතු කළා.
අනතුරුව යළිත් සිද්ධිය වාර්තාකරනය සදහා මාධ්‍යයට අවස්ථාව සළසා දෙමින් සාක්ෂි විමසීම සිදුකෙරුණා. එහිදී අදාළ සාක්ෂිකරු සදහන් කළේ තමන් සහරාන් පිළිබදව දැනගත්තේ එම වකවානුවේ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝපටයක් නැරඹීමෙන් බවයි. පසුව කොමිෂන් සභාව අදාළ වීඩියෝපටය ලෙස සැලකෙන දර්ශන පෙළක් සාක්ෂිකරුට පෙන්වීමට සැළැස් වූ අතර එහි ප්‍රකාශ කරන කරුණු පිළිබදව සාක්ෂිකරුගෙන් විමසා සිටියා. එහිදී සාක්ෂිකරු සදහන් කළේ මෙම වීඩියෝපටයේ දැක්වෙන්නේ මුස්ලිම් පල්ලි ගිනිබත් කළ අයව ඝාතනය කළයුතු බවට සහරාන් හෂීම් කරන ලද තර්ජනයක් බවයි. 2018 වසරේ දිගන ප්‍රදේශයේ සිදුවූ ගැටුම්වලින් පසු තමන් ඇතුළු පිරිසක් සහරාන් හෂීම් හමුවී ගැටුම සම්බන්ධයෙන් කුමක් කරන්නේ දැයි තමන් විමසූ විට මුස්ලිම් ජනතාවට සහ පල්ලිවලට විරුද්ධවන පුද්ගලයින්ට පහරදිය යුතු බවට සහරාන් ප්‍රකාශ කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළා.
පසුව දිගින් දිගටම තමන් සහරාන් සමග ගනුදෙනු කළ බවත් නුවරඑළිය හා හම්බන්තොටදී පැවති පුහුණු කදවරුවලට ද සහරාන් සමග සහභාගිවූ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. එම කදවුරුවලදී තමන් ඇතුලු 150 කට අධික පිරිසකට සහරාන් ටී56 වර්ගයේ ගිනි අවි පෙන්වූ බව සාක්ෂිකරු කියාසිටියා. කෙසේ වෙතත් වනාතවිල්ලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුර හසුවීමත් සමග මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ යුතුයි යන තීරණයට සහරාන් එළඹි බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. නමුත් එම අවස්ථාවේදී සහරාන් කියා ඇත්තේ බෞද්ධ ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එසේ වුවද ඔහු ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළේ ඇයිදැයි තමන් නොදන්නා බව සාක්ෂිකරු කියාසිටියා.
එමෙන්ම සහරාන් කිසි දිනක බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබද දැන සිටියේ නැති බවත් පොලීසියේ ඉහළ නිලධාරියෙක් යූරියා යොදාගෙන බෝම්බ නිෂ්පාදනය කළ හැකි බව කියන වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ දැකීමෙන් පසු සහරාන් එම ක්‍රමයට බෝම්බ නිෂ්පාදනය කළ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. අදාළ දර්ශන මාධ්‍ය ඔස්සේ විකාශය නොවුනා නම් මෙවැනි බෝම්බ පිපිරීමක් සිදු නොවන්නට ඉඩ තිබූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කියාසිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු තමන් දන්නා බවත් නම් ගම් ආදිය ප්‍රකාශ කළ යුතු නිසා මාධ්‍ය ඉදිරියේ ඒවා හෙළිදරව් කළ නොහැකි බවත් සාක්ෂිකරු ප්‍රකාශ කිරීම නිසා නැවතත් අදාළ කොමිසමෙන් මාධ්‍ය ඉවත් කෙරුණා.
908 Views
Comments