උතුරු නැගෙනහිර ඉතිහාසය සෙවීමට විධිමත් පරීක්ෂාවක් අවශ්‍යයි - මුල්‍ය දායකත්වයද ලබාදිය යුතුයි

මෙරට බෞද්ධ රටක් නොවන බවට තමා ප්‍රකාශයක් සිදුකළේ යැයි දකුණේ ජනතාව වැරදි අවබෝධයක් ඇති කරගෙන තිබෙන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසනවා. විග්නේශ්වරන් පැවසුවේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක මාධ්‍යවේදීයෙකු යොමුකළ ගැටළුවලට පිළිතුරු වශයෙන් තමන් ලබාදුන් පිළිතුරක් කේන්ද්‍ර කර ගනිමින් දකුණේ ජනතාව වැරදි අවබෝධයක් ඇති කරගෙන ඇති බවයි.
උතුරු නැගෙනහිර ඉතිහාසය සම්බන්ධයෙන් අධ්‍යයනය කරනු ලැබූ දෙමළ පුරාවිද්‍යා විශාරදයින් හා ඉන්දියානු පුරාවිද්‍යා විශාරදයින්ගේ විග්‍රහය අනුව මෙරට උතුරු නැගෙනහිර පළාත්වල පෞරාණික ජනාවාස බුදුරජාණන් වහන්සේගේ කාලයට පෙර කාලයේ පටන් තිබී ඇති බවට ඔප්පු වන බවද හෙතෙම පැවසුවා.
විග්නේශ්වරන් වැඩිදුරටත් පැවසූවේ උතුරු නැගෙනහිර පළාත් තුළ බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භ වීමට පෙර ජනාවාස පැවති බවට තමන් ප්‍රකාශ කළ අතර, අදාළ ප්‍රකාශය මතුපිටින් බලා දකුණේ ඇතැම් පිරිස් කෝප වී ඇති බවයි.
තමන් අදහස් කරනු ලැබුවේ උතුරු නැගෙනහිර ඉතිහාසය සම්බන්ධයෙන් සිංහල පුරාවිද්‍යා විශාරදයින්, දමිළ පුරාවිද්‍ය විශාරදයින්, ඉන්දියානු පුරාවිද්‍යා විශාරදයින් සියළු දෙනා එක්ව විධිමත් පරීක්ෂා කිරීමක් සිදුකළ යුතු අතර, ඒ තුළින් උතුරු නැගෙනහිර ඉතිහාසය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබාගත හැකි වන බවයි.
ඒ වෙනුවෙන් වන පරීක්ෂා කිරීම්වලට අදාළ මුල්‍ය දායකත්වයද සපයාදීමේ සම්බන්ධීකරණ කටයුතු සකස් කොට දිය හැකි අතර, ඒ තුළින් මෙරට උතුරු නැගෙනහිර ඉතිහාසය, ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධය ලබා ගැනීමට හැකියාවක් පවතින බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.
තමා සිදුකරන ප්‍රකාශ මතුපිටින් බලා ඇතැම් පිරිස් තමා කෙරෙහි වෛරයක් ඇති කරගත යුතු නොවන අතර, උතුරු නැගෙනහිර නිවැරදි ඉතිහාසය දැන ගැනීම සිදුකළ යුතු බවට තමා අදහස් කළ බවද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වනු ලබන්නේ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විසින් ගොතන ලද ප්‍රබන්ධයකට අනුව මිස යථා මූලාශ්‍රවලින් තොරව බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පෙරේදා (14) ප්‍රකාශ කර තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණේ මෙරට කිසිදු පුද්ගලයෙකුට හෝ දේශපාලනඥයෙකුට ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හැදින්වීමට කිසිදු ඉඩක් නොමැති බවයි. භික්ෂූන් වහන්සේ විසින් පාලි භාෂාවෙන් රචනා කර ඇති ඉතිහාසය ගැන කියැවෙන බොහෝ ග්‍රන්ථ තුළ සාවද්‍ය කරුණු ඇතුළත් කර තිබීමෙන් රටේ ජනතාව ද වැරදි අදහස් හා ආකල්ප වලින් යුතුව ජීවත් වන බව ද උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසා තිබෙනවා.
උතුරු නැගෙනහිර පළාත් වල අතීතයේදී කිසිදු සිංහල වැසියෙකු ජීවත් වී නොමැති බවත් එම ප්‍රදේශ දෙමළ වැසියන්ගේ නිජබිමක් පමණක් බවත් ඔහු අවධාරණය කර තිබුණා.
748 Views
Comments