මන්ත්‍රීධුර 196කට 7452ක් තරගයේ

මන්ත්‍රීධුර 196 ක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක සංඛ්‍යාව 7452ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 3652ක් ද, ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 3800ක් ද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත්ව සිටිති.
වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 924කි. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 352ක් ද, ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 572ක් මැතිවරණයට තරග කරති.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 693ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 312ක් ද ඉදිරිපත්ව සිටිති.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 540කි.
මේ අතර පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 697ක් ලැබුණු බවත්, ඉන් 80ක් ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව ගැටලු රහිතව සකස් කරන ලද නාම යෝජනා පත්‍ර 617ක් භාරගෙන තිබේ.
ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අතරින් 35ක් පිළිගත් දේශපාලන පක්ෂවලට අයත් වන ඒ අතර ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර 45ක් ප්‍රතික්ෂේප වී ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වැඩිම නාමයෝජනා පත්‍ර සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 13කි. කළුතර සහ වන්නි යන දිස්ත්‍රික්කවල ද නාම යෝජනා පත්‍ර අට (08) බැගින් ප්‍රතික්ෂේප වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ තුනක (03) සහ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලැබී ඇති නාම යෝජනා පත්‍ර සංඛ්‍යාව 46කි.
වැඩිම නාමයෝජනා පත්‍ර සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයටය. එම නාම යෝජනා පත්‍ර සංඛ්‍යාව 58කි. මීට අමතරව වන්නි දිස්ත්‍රික්කයට ද නාම යෝජනා පත්‍ර 53ක් ලැබී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයට නාම යෝජනා පත්‍ර 38ක් ලැබී ඇති අතර ඉන් 05ක් ප්‍රතික්ෂේප වී තිබේ. ප්‍රතික්ෂේප වූ නාම යෝජනා පත්‍ර අතර පිළිගත් දේශපාලන පක්ෂ දෙකක නාම යෝජනා පත්‍ර දෙකක් ද වේ.
652 Views
Comments