මහින්දව විදුලි පුටුවෙන් බේරා ගත්තෙත් 30.1 යෝජනාවෙන්. ආරක්ෂක ලේකම් පිස්සෙක් - මංගල

තමන්ව විදුලි පුටුවට ගෙනයනු ඇති බවට 2014 වනවිට මහින්ද රාජපක්ෂ මහතාම පැවසූ බවත් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවට අත්ව තිබුණු එවන් තත්වය වෙනස් කළේ ජිනීවා නුවරදී සම්මත කරගත් 30.1 යෝජනාවෙන් බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. කිසිදු රණවිරුවකුව ජාත්‍යන්තර යුධ අධිකරණයක් හමුවට ගෙනයාමට නොහැකි වන ලෙස බේරාගනු ලැබුවේ එම යෝජනාවෙන් වන හෙයින් එයින් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කිරීම ගැටළු සහගත බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේම සංවර්ධනයට ප්‍රධාන බාධාව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව යැයි පාසල් සිසුන්ට උගන්වන වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පිස්සෙකු බව ද ඒ මහතා අවධාරණය කළේය.
"ඔබතුමන්ලා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ඇතිකර ගත්තු එක ඇත්ත. ඒක අපි පිළිගන්නවා, නමුත් මේ ජයග්‍රහණය මේ තරම් ඉක්මනට කෙළසන්න එපා. මේ වෙනකොටත් රට ආපස්සට ඇදගෙන යනවා. මහා විනාශයකට ඇදගෙන යනවා. ආර්ථික විනාශයක් විතරක් නෙවෙයි, ඒත් සමඟම අපේ ජාත්‍යන්තර සබඳතා නැති කරගෙන යනවා. අපි බොහොම අමාරුවෙන් මේ රට තුළ ඇති කරපු සංහිඳියා ක්‍රියාවලිය දැන් අභියෝගයට ලක්වෙලා.
මේ අද, මම ඉතාමත්ම කණගාටුවෙනවා. මම දැඩි වේදනාවකින් ඉන්නෙ වෙන මොකක්වත් නිසා නෙවෙයි රට වෙනුවෙන්. අපේ දිනේශ් ගුණවර්ධන විදේශ ඇමතිතුමා මෙතන ඇවිල්ලා කියනවා අපේ ජිනීවා වගකීම්වලින් අපි අයින් වෙනවා කියලා. අපි ජිනීවා වගකීම් අපෙ අතට ගත්තෙ නැත්නම් 2015 අපි ආණ්ඩුව එනකොට මේ රට ජාත්‍යන්තර උසාවිවලට ගෙන යන්නට පාර විවෘත වෙමින් තිබුණෙ. ඇත්ත වශයෙන්ම 2014දි - අපෙ විපක්ෂ නායකතුමා අද කිව්වා වගේ - යුද්ධෙ ඉවර වෙලා දවස් 4ක් යන්න ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට, බැං කී මූන් මහතාට ලබාදුන් පොරොන්දු නිසා, ඊට පස්සෙ ජිනීවා නුවරදි ඒ ආයතනයට දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා 2014 වෙනකොට ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනකොටයි අපි ආණ්ඩුව ගත්තේ.
ආණ්ඩුව ගත්ත ගමන් මම විදේශ ඇමතිවරයා හැටියට අපි ජිනීවා නුවරට ගිහින් කිව්වෙ අපි කැමති නෑ අපේ රටේ වෙච්චි සිද්ධීන් ගැන ජාත්‍යන්තර පරීක්ෂණවලට. ඕගොල්ලන් ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න ඕනෙ නෑ. අපි අපේ රට තුළ ඒ පරීක්ෂණ කරන්නම්. අපි අපේ රට තුළ සංහිඳියා ක්‍රියාවලිය ඇති කරගන්නම් කියලා තමයි අපි ඒ යෝජනාවෙ සම අනුග්‍රාහකයින් බවට පත්වුණා විතරක් නෙවෙයි මොන මොන බාධක තිබුණත් අපි මේ රටේ ඒ දෙමළ ජනතාවට යම් බලාපොරොත්තුවක් ලබාදෙමින්, අපි අතුරුදන් වූවන්ගේ කාර්යාලය මේ පාර්ලිමේන්තුව තුළ අනුමත කළා. හානිපූර්ණ ඒකකය සඳහා පනත අනුමත කළා. ඒ වගේම තවත් කාර්යයන් කිහිපයකට අවශ්‍ය කෙටුම්පත් හදලා තියෙනවා.
නමුත් මේ හැම එකම දැන් ආපස්සට අදිනවා. මම නම් දකින්නෙ මේක ඉතාමත්ම කුහකම ක්‍රියාවක්. මේ පොඩි දේවල් ... මේ රටේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් කියන්න තියෙන අයිතියත් දැන් නැති කරගෙන යනවා. මෙහෙම රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද ?
ඒ විතරක් නෙවෙයි, මේ ඇමතිවරුත් දැනගන්න ඕනෙ, තමුන්නාන්සෙලාගෙ මේ ආරක්ෂක ලේකම් කියන පුද්ගලයා මානසික පිස්සෙක්. තරහා වෙන්න එපා කිව්වට. මම එදා දැක්කා රූපවාහිනියේ පෙන්නනවා එතුමා ඉස්කෝල ළමයින්ට දේශනයක් දීලා කියනවා මේ රටේ සංවර්ධනයට තියන ලොකුම බාධාව ප්‍රජාතන්ත්‍රවාදයයි සංහිඳියාවයි කියලා. කොයි දිශාවටද මේ රට යන්නෙ ? අපිට මේ වැරදි දිශාවට යනවා කියලා සන්තෝස වෙන්න බෑ, මොකද වළේ වැටෙනකොට ඔක්කොම එකට වැටෙන්නේ.
මම නම් කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ වෙලාවෙ යම් වුවමනාවක් තියෙනවා යම් දේවල් කරන්න. මට ආරංචි හැටියට එතුමා ඔය වටේ කැරකෙන හොරුන්ට චාන්ස් එකක් දෙන්නෙත් නැතිලු. ඒක හොඳයි. හොඳ දේවල් අපි හොඳ කියමු. නමුත් මේ රට යන දිශාව ඉතාමත්ම භයානකයි. මේ මාස තුනේදි මේ ආපස්සට අදින ක්‍රියාවලිය ඉතාමත්ම භයානකයි. ආර්ථිකය කඩාගෙන වැටෙනවා, අපි ජාත්‍යන්තරව හුදකලා වෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ ජාතීන් අතර අපි බොහොම අමාරුවෙන් ඇති කරගත්තු සමගියත් ක්‍රමානුකූලව බිඳ හෙළලා අර ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්න මනස විකෘති වූ අය දැන් මේ රට ඒකාධිපති දිශාවකට ගෙනියන්න හදනවා, ඊට විරුද්ධව අපි සියලු දෙනාම ඒකරාශී වෙන්න ඕනෙ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) පාර්ලිමේන්තුව අමතමිනි.
873 Views
Comments