සංස්ථා සභාපතිවරුන්ගේ පඩිය ලක්ෂයකට සීමා කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

සංස්ථා සභාපතිවරුන්ගේ පඩිය ලක්ෂයකට සීමා කෙරේ

සංස්ථා සභාපතිවරුන්ගේ පඩිය ලක්ෂයකට සීමා කෙරේ

රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට හා එක් නිල වාහනයක් පමණක් ලබාදීමට නියෝග කරමින්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

 

ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා (13) නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, ආණ්ඩුකාර ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත යවා තිබේ.

 

රජයේ වියදම් සීමා කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම්වරයා මෙම විශේෂ චක්‍රලේඛය නිකුත්කර ඇත.

 

එම විශේෂ චක්‍රලේඛයට අනුව සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරයකු සඳහා මසකට ලීටර් 150ක ඉන්ධන හෝ ඒ හා සමාන දීමනාවක් හිමිවනු ඇත.

 

සංස්ථා හා මණ්ඩල සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකරන ලෙසත්,  දැනටමත් පත්කර ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ද පියවරක් ගන්නා ලෙසත් චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.

 

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ගෙවන මාසික දීමනාව රුපියල් 250,000කට සීමා කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කොපමණ සංඛ්‍යාවකට සහභාගි වුව ද එම දීමනාවේ වෙනසක් නොකරන ලෙස ද චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.

 

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට නිල වාහන ලබා නොදෙන ලෙසත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගි වීමට පමණක් වාහන පහසුකම් ලබා දෙන ලෙසත් උපදෙස් දී ඇත.

 

යම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට ඉන් පරිබාහිරව ප්‍රවාහන පහසුකම් සපයන්නේ නම් ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු යැයි ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.

 

මේ අතර අයවැයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදනවලින් හැකි නම් සියයට 25ක් පමණ ඉතිරි කර ගැනීම වැදගත් යැයි ද එහි සඳහන් වේ.

 

ලංකාදීප පුවත්පතින්...

views

1053 Views

Comments

arrow-up