ජනපතිගේ නත්තල් දින පණිවුඩය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
25

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

ජනපතිගේ නත්තල්  දින  පණිවුඩය

පසුගිය කාලයේ විදි වේදනාත්මක අත්දැකීම් නැවත අත්නොවිදීමට සියලු දෙනා නත්තලේදී අධිෂ්ඨාන කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ මහතා පවසයි.

 

නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උදා වූ නත්තල බියෙන් සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරයක් වර්තමානයේ රට තුළ ගොඩනැගී ඇති බවයි.

 

"ලෝකයට සාමයේත්, සහජීවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිඳාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප‍්‍රීතියක් දනවයි.

 


නත්තලේ සැබෑ අර්ථය අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීමයි. ඒ සඳහා ජීවිත ආවර්ජනයෙන් පාපී සිතුවිලි සම්පූර්ණයෙන් බැහැර කොට ප්‍රේමයෙන් හා දයාවෙන් හදවත් පුරවා ගත යුතුය. ජේසු සමිඳාණන් සකල ලෝකවාසීන්ට පෙන්වාදුන් අධ්‍යාත්මයේ මග අප හෙළි පෙහෙළි කරගත යුතුය. එය සදාතනික ජීවිතය ද වන බව කිතු දහමෙන් අර්ථ ගන්වයි.

 


දේව දූත ගීතිකා හඬ අපට කියන්නේ ” සුසිත් දනන් හට සාමය වේවා ” යන්නය. අපගේ ප‍්‍රාර්ථනය ද කැපවීම ද එවන් වූ සුසිත් දනන් පිරි සමාජයකි. දෙව්පියාණන්ගේ ආශිර්වාදය ද, කැමැත්ත ද එයම බව අපි දැඩිව විශ්වාස කරමු. එ සේ ම දේවාශිර්වාදය ලැබූ පුදබිම් පසුගිය කාලයේ විඳි වේදනාත්මක අත්දැකීම නැවත අත් නොවිඳිමට අප වගබලා ගත යුතුය. උදාවූ නත්තල බියෙන් සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරය රට තුළ දැන් ගොඩනැඟී තිබේ.

 

 

එය කරුණාබර හදවත් ඇති සියලූ මනුෂ්‍යයන්ගේ ප‍්‍රාර්ථනාව ඉටු වීමක් සේම දැඩි වේදනාවටත්, කම්පනයටත් පත් සියලූ හදවත්වලට සැනසුමක් උදාකරවයි. ජේසු සමිඳාණන් දේශනා කළ පරිදි සියලූ මනුෂ්‍යයනට සමව සලකන කුළුණුබර සමාජයක් නිර්මාණය කිරීමට මේ උතුම් නත්තල් දිනයෙහි අපි නැවත අධිෂ්ඨාන කර ගනිමු.

 


උන්වහන්සේගේ දහමෙන් පෝෂණය වූ සමාව දීම, මනුෂ්‍යත්වය, ආදරය ආදී වූ උත්තුංග සදූපදේශයන්ගේ ශුභාරංචිය ගම්දනව් සිසාරා පැතිර ලක්වාසී සියලුම කිතුනු ජනතාවටත්, ලෝකවාසී සැමටත් සෞභාග්‍යමත් නත්තලක් වේවායි ප‍්‍රාර්ථනය කරමි."

views

947 Views

Comments

arrow-up