පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වෘත්තීයභාවය ගැන අගමැති මහින්ද උගන්වයි (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තමන්ගේ වෘත්තියභාවය වැඩිදියුණු කර ගැනීමට පියවර ගතයුතු බවත්, සෑම විටම පාර්ලිමේන්තු සභාවාරයන්ට සහභාගි වෙමින් පුස්තකාලය පරිහරණය කරමින්, වෘත්තිමය කටයුතු වැඩිදියුණු කර ගැනීමට කටයුතු කළ යුතු බවත්, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකශ කර තිබෙනවා.
“ඉස්සර වගේ නෙවෙයි දැන් මන්ත්‍රී වුණා කියලා විශේෂ සැලකිල්ලක් සමාජයෙන් ලැබෙන්නෙ නෑ. ඒ නිසා තමන්ගෙ වෘත්තීයභාවය දියුණු කරගන්න ඕනෑ කියලා මම හැමෝටම කියනවා. වෘත්තීයභාවය දියුණු කරගන්න මන්ත්‍රීකම, වයස බාධාවක් කර ගන්න එපා” යැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රීවරයන් සඳහා පාර්ලිමේන්තු කටයුතු හා පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට අද ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේදි එක්වෙමින්.
පාර්ලිමේන්තුවට තේරි පත් වූ නවක හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් 115 ආසන්න පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වී සිටි අතර, ආරම්භක උත්සවයෙන් පසු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් වැඩමුළුව මෙහෙයවනු ලැබුවා .
මෙම අවස්ථාවට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, සභානායක හා විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුද සහභාගීව සිටියා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනෙදි පාර්ලිමේන්තු සභාවේ පිළිවෙත් හා ක්‍රියාපටිපාටින්, ස්ථාවර නියෝග,වරප්‍රසාද හා සම්ප්‍රදායයන්, ආචාරධර්ම,කාරක සභා, පාර්ලිමේන්තු ලේඛන, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් නවක මන්ත්‍රිවරයන් වෙත ලබා දීමට අපේක්ෂිතය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළා.
“මට මතකයි මගේ පියා කිව්වා 1945 එතුමා ප්‍රථමවරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආපු වෙලාවේ, බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුව වටේ එක්කන් ගිහින් පෙන්නලා ඒ පිළිබඳව දැනුවත් කරපු විදිහ. ඔබ සියලු දෙනාට පාර්ලිමේන්තුවේ තුළින් තමයි අත්දැකීම් ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කටයුතු කරද්දී ඔබට ඒ අත්දැකීම ලැබෙනවා.
පහුගිය මැතිවරණය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි මහ ඡන්දයක්. ඒ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ 2/3 ක බහුතරයක් ගත්ත නිසා පමණක් නෙමෙයි. 1946 ආරම්භ වූ පැරණිම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය මැතිවරණයෙන් එක් ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි වූ නිසාත් නොවෙයි. ඒ හරහා ජනතාව අපට හොඳ පණිවිඩයක් ලබා දීලා තියෙනවා.
මේ ඡන්දෙදි කිසිම දේශපාලන පක්ෂයකට සල්ලි බලෙන් ලොකු ප්‍රචාරක වැඩ ගෙනියන්න ලැබුණෙ නෑ. පෝස්ටර් , කටවුට් ගහන්න බැරි උනා. සල්ලි දිලා බස් දාලා සෙනග ගෙන ඒම් නෑ. හැම තැනකම සෞඛ්‍ය නීති රීති අනුව තමයි වැඩ කළේ. නමුත් ජනතාව 71% ඡන්ද පොළට ඇවිත් තමන්ගේ ඡන්දය දුන්නා. මේකෙන් ජනතාව රටට තියෙන ආදරේ වගේම නිවැරදි වැඩපිළිවෙළකට, ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ගෞරවය අපට පැහැදිලියි. මහා පණිවිඩයක් අපි හැමෝටම දීල තියෙනවා.
අපි බලන්න ඕනේ මේ වතාවෙ ජනතාව ඡන්දය දුන්නේ කාටද කියලා. මොන දේශපාලන පරපුරකින් පැවත ආවත් වැඩක් නැත්නම්, වැඩ බැරි නම් ගෙදර යැව්වා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්න කියල හිතන්නත් බෑ. උගත්කම වගේම රටට ආදරේ නම්, වැඩ කරන්න පුළුවන් නම් පමණයි මිනිස්සු ඡන්දය දෙන්නේ. උගත් උනාට වැඩක් නෑ ජනතාව පවරපු රාජකාරිය හරියට කරන්නෙ නැත්නම්. ලොකු ද පොඩි ද කියලා බලන්නේ නැතිව, වරාය ද ගුවන් සේවා ද මැටි ද කියලා බලන්නේ නැතිව ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නෙ. ජනතාවට ඕනේ වැඩ කිරීම, ඔවුන් එක්ක සම්බන්ධතාවය තබා ගැනීම.
මම 1970 පාර්ලිමේන්තුවට තේරිලා පත්වෙලා ආවට පස්සෙ තමයි නීති විද්‍යාලයට ඇතුළත් වුණේ. මං පාර්ලිමේන්තු යන අතරතුර නීති විද්‍යාලයටත් ගිහිල්ලා ඉගෙන ගත්තා. එදා ඉන්ර්ටනෙට් පහසුකම් තිබුණේ නෑ. අද මෙහේ ඉඳන් විදේශීය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා හරි ඉගෙන ගන්න පුළුවන්. ඒ කිසි දෙයක් නැති කාලේ මන්ත්‍රිවරු හැටියට අපි විභාගවලට වාඩි උනා. අන්තිමට 1977 පැරදුනු වෙලාවේ ඉතිරි වුණේ ඉගෙන ගත්ත දේ. මොකද හැමදාම දිනනවා කියලා නෑ. පැරදුණු කාලේ නීති විද්‍යාලයට ගිහිල්ලා නීතීඥවරයෙක් වෙච්ච ප්‍රයෝජනය මට ගන්න පුළුවන් උනා.
743 Views
Comments