සිංහරාජ මායිමේ ඉදිවන මාර්ගය ජනපති අනින් නවතී

ලෝක උරුම සිංහරාජ රක්ෂිත මායිමේ මාර්ග සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දමන ලෙස ජනපතිගෙන් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
ගිං ගඟ රක්ෂිතයත්, සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයත් මැදින් නෙළුව හා දෙනියාය යා කරමින් එම මාර්ගය ඉදිවෙමින් පවතිනවා.
ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා වුණත් ලෝකයේ වැඩිම ලෝක උරුම ස්ථාන තිබෙන රට වන අතර, මෙම වර්ග කිලෝ මීටර 65610 තුළ පාරිසරික ලෝක උරුම 2ක් ඇතුළුව ලෝක උරුම 8ක් පිහිටා ඇතැයි සඳහන්.
කෙසේ වෙතත්, අදාළ ඉදිකිරීම් පරිසර හිතකාමී නොවන බැවින් පරිසර සංවිධාන මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ, අඩි 12ත් 20ත් අතර පළලකින් මෙම මාර්ගය ඉදිකෙරෙන බවයි.
මේ අතර අදාළ ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නායයාම් අවදානමක් මතුව ඇති බවද පරිසරවේදීන් සඳහන් කරනවා.
මෙහිදී ප්‍රදේශවාසීන් හා ඉදිකිරීම් කටයුතුවල නිරත නිලධාරීන් පවසන්නේ මෙම මාර්ගය දෙනියාය, පිටදෙනිය දෙසින් ලංකාගම දක්වා ගමන් කරන බවයි.
මෙම මාර්ගය ඉදිකිරීමෙන් කුඩා ජල මාර්ග බොහොමයක් අවහිර වීමට ඉඩ ඇති බවත්, ඉදිකිරීම් ක්‍රියාවලියේදී ඉවත් වන පස් ද ගිං ගඟට එකතු වීමේ අවදානමක් මතුව ඇති බවත් වාර්තා වනවා.
ලෝක උරුමයක් වන සිංහරාජ වැසිවනාන්තරය මැදින් මෙලෙස ඉදිකිරීමක් සිදුවීම පිළිබඳව වගකිව යුතු ආයතන දැනුවත් වී නොසිටි බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ පරිසරවේදීන් ජනාධිපතිවරයා යවා ඇති ලිපියෙහි සඳහන්.
නමුත් අදාළ ඉදිකිරීම සඳහා කිසිදු ව්‍යාපෘති වාර්තාවක් හෝ ලිඛිත අවසරයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.
පරිසර සංවිධාන ඉල්ලා සිටින්නේ මෙලෙස ඉදිකිරීම් සිදු කරන්නේ නම් පාරිසරික නිර්දේශයන්ට අනුකූලව පරිසර අධ්‍යයනකින්ද පසු නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජනාධිපතිවරයා අදාළ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව වහාම නතර කර, ඉදිකිරීම් සිදු කරන්නේ නම් පාරිසරික නිර්දේශයන්ට අනුකූලව පරිසර අධ්‍යයනකින් පසු නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
894 Views
Comments